ෆේස්බුක් සේකරවරුන් සහ විචාරකයින්.

කල්ලි ගැසී තම-තමන්ගේ හා තම කල්ලියේ සාහිත්‍ය භාවිතය සුජාත කරගැනීම සාමාන්‍ය දෙයකි. බූජුවා සංස්කෘතික භාවිතයක්ද ලෙස ඇතැම් අය දකින මෙහි එක් අවස්ථාවක් ලෙස 20 වන සියවස මුල පැරිසිය හා කේන්ද්‍රව බිහිවූ නව්‍යවාදී ප්‍රවණතාවය යම් උදාහරණයක් සපයයි. අපගේ ආනුභූතිය ආශ්‍රිතව පේරාදෙණිය, කැලණිය විශ්ව විද්‍යාල ආශ්‍රිතව 1950-1980 කාලයේ බිහිවූ සාහිත්‍යයේ හා විචාරයේ ද මෙම කල්ලිවාදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකිය හැක. සංසන්දනය කල නොහැකි තත්වයක් තුල කරන සාමාන්‍යකරණය ඵලදායී නොවුනත්, වර්තමානයේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව බිහි වී ඇති සාහිත්‍ය කල්ලියන් හා අර මුලින් කී වඩා ඇනලොග් ගණයේ සාහිත්‍ය-විචාර කුටීර අතර වෙනසක් වේ ද යන්න බොහෝ අවස්ථාවල සිතට නැගුන කාරනයකි. සංසන්දනය කල නොහැකි ඓතිහාසික පදාසයන් දෙකක් බැවින් මේවා සංසන්දනය නොකල යුතු නමුත්, අද සාහිත්‍යයේ පවතින විපරිතතාවයන් රැසකට මෙම ෆේස්බුක් කල්ලි හරහා ඇතිවන විවිධ ගැඹුරු හා අඩු ගැඹුරු තැන් ද මිනිසුන් ද වඩා ගැඹුරු ලෙස දායක වී ඇති බවට යෝජනාවක් ගෙන ඒමට හැකි ය.

imagesමෙම යෝජනාව අවස්ථා කීපයකදීම, වේදිකා දෙක තුනකදීම මතු කර ඇති අයෙක් ලෙස එරික් ඉලෙයප්ආරච්චි උපුටා දැක්විය හැක. නිර්මාණ කාර්යයටත් වඩා එරික් අවස්ථා කීපයකදීම දක්වා තිබුණේ, මට තේරුන ආකාරයට, සාහිත්‍යය මැනීමේ දී එම භාවිත මිනුම් දණ්ඩ සමාජ මාධ්‍ය යුගයේ දී අඩි භාගෙ කෝදුවක් දක්වා සංකෝචනය වී ඇති ආකාරයයි. නැතිනම්, හීන විචාර දෘෂ්ටියකින් කෙරෙන අනුමත කිරීම් හරහා වඩා නොවැදගත් සාහිත්‍ය කෘතියක් වුවද වඩා ඉහලින් සැලකෙන තැනකට පත් වී ඇත යන්නයි. මෙම යෝජනාවට විරුද්ධවද තර්ක කල හැකි වුවත්, වඩා සම්භාව්‍ය තැනක සිට සාහිත්‍යයේ මිම්ම දෙස බලන මට ඉහත තර්කයෙන් ඉවත දැමිය නොහැකි සත්‍යතාවයක් ගම්‍ය වේ.

තම කල්ලියේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් හරහා බිහිවන සාහිත්‍යයේ ප්‍රගමණශීලී බව රදා පවතින්නේ පිට කසා ගන්නන්ගේ නිර්මාණශීලී ශක්‍යතාවය මතයි. අහම්භයක් ලෙස වඩා පර්යේෂනාත්මක හා විභවයකින් යුතු කාණ්ඩයක් එකිනෙකාගේ පිට කසා ගනිමින් නිර්මාණකරණයේ යෙදීම හරහා වන සේවය විපරිතයක්ම වන්නේ නැත. උදාහරණ ලෙස ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය වැනි සංචිතයක දැනුම භාවිතය තුල එක් අතකට, එක් මට්ටමකට වූවේ ද ප්‍රගමණශීලීත්වයට දායක වුනු අන්‍යෝන්‍ය රැදියාවකි. නමුත්, හීන විභවයකින් යුතු, නිර්මාණ කාර්යයේ වඩා අඩු තැනක සිටින, එනමුත් ධෛර්යසම්පන්න, ධාවනකාරී කල්ලියක් අතින් සුජාතවන සාහිත්‍යය සම්ප්‍රදාය බවට පත්වන අවස්ථාවක විචාරකයා සිටිය යුත්තේ කොතැනද (මෙහිදී “හීන සාහිත්‍යය” කියන්නේ මොකක්ද? ඒ කොහොමද? “සාහිත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය – ප්‍රභූ දෘෂ්ටීන් බැහැර කල යුතුය”, “සාහිත්‍යය සාපේක්ෂය” වැනි තැන් වලින් මා වියුක්ත ව, වඩා ප්‍රායෝගික තැනක සිටිමි. වඩා ප්‍රබුද්ධ සාහිත්‍යයක් සහ එය සරි කෙරෙන විචාර ප්‍රවේශයක් පවතී ද, නිර්මාණ ක්‍රියාවලිය හරහා හදුනාගත හැකි වඩා හීන සාහිත්‍යයක් ඇතැයි ද වැනි වූ උපන්‍යාස ගුරු කොටගෙන සිටිමි)?.

F3-A_Lpoවිචාරකයා සිටිය යුතු තැන ගැන ප්‍රශ්ණයට කලින් වැදගත් වන තවත් එක් නිරීක්ෂණයක් වන්නේ පසුගිය දශක එක හමාරක වැනි කාලය ආශ්‍රිතව බිහිවී ඇති විකල්ප දැනුම් මූලාශ්‍රයන් හා ඒවා හා සමාජයෙහි වන වඩා සෘජු සබැඳියාවයි. අප සම්භාව්‍යයේ දී දකින විචාරක භූමිකාව විනිවිද යන, සංයමය පසෙකලන වඩා වේගවත් හා ක්ෂණික වූ කරුණු පරිභෝජනයකට සමාජය තල්ලු වී තිබේ. විදිමත්භාවයට ඉහලින් වේගයත්, ක්‍රමවත් හැසිරවීමට ඉහලින් තාක්ෂණික සැරසිල්ලත් විසින් ප්‍රවෘත්ති වල සිට සාහිත්‍ය දෘෂ්ටියද වෙලාගෙන ඇත. ගොසිප් සයිට් වලින් හා ෆේස්බුක් බෙදාගැනීම් ඔස්සේ දැනුම පරිශීලනය කරන තරමක දෙගිඩියාවකින් පෙලිය යුතු තැනක අප අන් කවරදාකටත් වඩා සැහැල්ලුවෙන් හා ප්‍රතාපවත්ව සිටින්නෙමු. අද පවතින තාක්ෂණ-පරිභෝජන රාමුව තුල අවශ්‍යතාවය හා සන්තර්පණය අතර වඩා කෙටි හා සෘජු ෆැන්ටසියක් මැවී ඇති අතර, එනයින්ම කෙනෙක්ට ඡායාරූප ශිල්පියෙක් වීමට අවශ්‍ය වන්නේ කැමරාවක් හා ෆේස්බුක් ගිණුමක් පමණක් වන අතර නිරූපිකාවක් වීමට සිහින දකින්නෙකුට අවශ්‍ය වන්නේ මේකප් කට්ටලයක් හා අර මුලින් කී ඡායාරූකරුවා (හා ෆේස්බුක් ගිණුමක්) පමණි. සාහිත්‍යය තුලද තෘණ ගස් උණ ගස් සේ උස යන්නට මෙම ක්‍රියාවලියම දායක වේ.

Seth-Kavi-fbනැවත අපි විචාරකයා ගැන සාකච්ඡාවට සම්බන්ධ වන්නේ නම්, අද පවතින මෙම තත්වයන් තුල විචාරක භූමිකාව වඩාත්ම වැදගත් වන අතර, එනමුත් අපේ ඇතැම් විදග්ධ යැයි නම් කියවෙන විචාරකයින් සිටින්නේද ඇතැම් කල්ලි වලය, නැතිනම් යම් ෆේස්බුක් කිවිඳියක හෝ කවියෙකුගේ හෝ සාක්කුවේ ය. කාටවත් නොරිදවීමේ බෞද්ධ චේතනාවෙන් මෙම සටහන තබන නිසා වඩා විශ්ලේෂී සාක්ෂි මෙහි සටහන් නොකලත්, වඩා ප්‍රගතිගාමී සාහිත්‍යයකට උරදිය හැකි ඇතැම් පොත් පත් පසෙක ලා සූකිරි, බොලඳ බස් ඉතාම අනර්ඝ මහා කෘති ලෙස කිසිදු හිරිකිතියකින් තොරව සමාජය ඉදිරියේ පාරම්බාන විචාර ක්ෂේත්‍රයේ පෝර්ට් සිටී පවා ගසා ඇති උදවිය ගැන මට ඇතිවන්නේ කම්පනයකි. එවැනි ක්‍රමවත් හැදෑරීමක් හෝ විචාරය ගැන දැනුමක් හෝ නැති අයගේ සමාජ අඩවි කන්කරච්චල් ඉවසිය හැකි වුවත්, තටු හැලී ගිය, මහළු හිටපු දේශකවරු තම කිවිඳි සුරතලියන් හා කවි අංකුරයින්ට දෙන චරිත සහතික නොසලකා හැරිය හැකි වුවත් හැදෑරීමක් ඇත්තා වඩාත්ම තුලනාත්මක විය යුතු අවස්ථාවක් ලෙස වර්තමානය දකිමි.

අද සමාජ අඩවි සංස්කෘතිය තුල සාහිත්‍යවේදියාගේ පැවැත්ම රදා පවතින්නේ එකිනෙකාට කරනා සේවය මත පදනම්ව ය. මෙය එක් අතකින් ගතහොත් පඩුරු කාසි හා දෙකට තුනට නැමීම් හරහා දේවල් කරගැනීමේ සමාජ අඩවි නොවන සම්ප්‍රදායේ සමාජ අඩවිමය දිගුව වන අතර, වෙනසක් ලෙස දැකිය හැක්කේ මෙම වර්චුවල් අවකාශය තුල වඩා තීව්‍ර වූ සම්බන්ධතාවයකට ඉඩකඩ සකස් වී තිබීමයි. හුවමාරු කිරීම් ඉන්බොක්ස් වන, භාවයන් හා ලීලාවන් පොපියන ත්‍රී-ඩී ස්මයිලියකින් හෝ ස්ටිකරයකින් එහා මෙහා යන, තම ෆේස්බුක් සගයා ස්වර්ණ පුස්තකයේ සිට ගොඩගේ සම්මානය දක්වා මුල්වටය විනිශ්චය කරන, හා අවසන් තරගයේ විනිශ්චයකරුවාට සුභ රාත්‍රියක් ද පතා, වඩාත්ම ගැලපෙන ස්මයිලිය ද එවා චැට් අවකාශය වසා දමන ගතිකයක අප සිටිමු. ලිඟුවේ බර දරන අතින් පෑන ද ඇල්ලිය හැකි වුවත් මනස තැති ගෙන ඇති කම්පිත අවස්ථා වලිදී මම වුවත් විචාර ලිවීමෙන් වැලකී සිටිමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s