කෞෂල්‍ය කුමාරසිංහ වසා සිටින රහස් ඡායාව, හා “මේ රහස් කවුළුවෙන් එබෙන්න” හි තවත් රහස් දෙකක්.

කෞෂල්‍ය කුමාරසිංහගේ “මේ රහස් කවුළුවෙන් එබෙන්න” කෘතිය මා කියවන්නේ යම් ආඛ්‍යාන රටාවක් අනුකරණය සහ එවැනි රටාවකින් අයෙකුගේ නිර්මාණ පෞරුෂය පෝෂණය වීම යන කාරණා දෙක අතර වෙනස වටහා ගැනීමටයි. කෞෂල්‍ය සිටින්නේ මෙම අවස්ථා දෙකෙන් මුල් අඩවියේයි. “මේ රහස් කවුළුවෙන් එබෙන්න” කෘතිය ලාංකික සාහිත්‍යයේ මෑත යුගයේ යම් ජනප්‍රියතාවයක් හිමි කරගෙන තිබූ අතර, අඛ්‍යාන මට්ටමින් ගත්තත්, සම්ප්‍රදායානුබර සම්භාව්‍ය අඛ්‍යානයට පිවිසුමෙන් එපිට සිට කෙරෙන මැදිහත් වීමක් ලෙස මුල් අවස්ථාවේදී පෙනී යයි. කතාව ඇරඹෙන්නේ පැනොරාමා දෘෂ්ඨියකින් කෙරෙන රාමු දාමයක් හරහා යි. මෙම දෘෂ්ඨිය විටෙක ජංගම වූත්, පරාසයන් අතර සීරු මාරු වන්නාවූත් කැමරාවක් වැනි ය. මෙම තාක්ෂණික පිවිසුම විසි වන සියවසේ නව්‍යවාදී සාහිත්‍යයේ අයිකනයන් වන ජේම්ස් ජොයිස්, අර්නස්ට් හෙමින්ග්වේ වැන්නන් අතරින් දහ නව වන සියවසේ රුසියන් සාහිත්‍යයේ දොස්තෙයෙව්ස්කි වැන්නන් දක්වා ද ඇතැම් අවස්ථා වලදී යා කල හැක්කකි. “මේ රහස් කවුළුවෙන් එබෙන්න” කෘතිය තරම්ම අළුත් නැතත්, මෙම වියුක්ත, ඈතින් සිට සීරු මාරු කෙරෙන දර්ශන පථයක සිට අප අමතන ආගන්තුක, අදෘෂ්‍යමාන කථකයා ලංකාවේ නිර්මාණ අවකාශට යම් තරමක් ආගන්තුක යැයි තර්ක කරන්නට හැක.

එනමුත්, කෞෂල්‍යගේ කෘතියට හේතු වන මෙම කථක හඬ (මෙන්ම ඇතැම් අනෙක් රටාවන් හා රිද්මයන් ද) යම් වෙනත් ලේඛකයෙකුගේ ආඛ්‍යාන රටාවකින් අනුකරණයක් ලෙස කුලියට ගත්තාක් යැයි මට බොහෝ විට සිතුනි. ඒ අනෙක් ලේඛකයා කෞෂල්‍යගේ නිර්මාණශීලී විභවයට දැඩි ලෙස බලපාන බවද මට දිගින් දිගටම සිතුනි. ආඛ්‍යානය ගැලපීමේ දී පමණක් නොව, කෞෂල්‍ය තම කෘතිය තුලට ගෙන එන ඇතැම් නිරීක්ෂණයන්, භවගැන්වීම් ආදිය හරහා ද මෙම ලේඛකයාගේ යැයි මට සාධාරණ සැකයකට ඔබ්බෙන් සිතිය හැකි මට්ටමේ ඡායාව දකින්නට ඇත්තේය. මෙම ලේඛකයා හරුකි මුරකාමී ය.

me-rahas-kawuluwen-ebennaමුරකාමීගේ බොහෝ කෘතිවල වර්තමානයේ දී අපගේ අවධානයට ලක් ව ඇති යථෝක්ත ආඛ්‍යාන රටාව මෙන්ම එම වියුක්ත කථක හඬ ද අපි අත්විඳිමු. මීට හොදම උදාහරණ සපයන්නන් අතර මුරකාමිගේ “ආෆ්ටර් ඩාර්ක්” (2004) හා “ස්පට්නික් ස්වීට්හාර්ට්” (1999) වැනි ග්‍රන්ථ වේ. කෞෂල්‍ය කෙරෙහි මුරකාමිගේ බලපෑම ඉතා තීව්‍ර බව යෝජනා කෙරෙන වෙනත් සාධක ද ඇත. ඉන් එකක් වන්නේ කාලය – නැතහොත් වෙලාව ගතවීම – ගැන මුකාමී මෙන්ම කෞෂල්‍ය ද දක්වන අවධානයයි. මෙය ඔරලෝසු මුහුණතක සටහන් වේලාවක් හෝ සෙල්ෆෝනයක දැක්වෙන වේලාවක් හෝ විය හැක. මෙය අප සම්භාව්‍යයේ දකින හෝරා භාගෙන් භාගෙට හෝ මිනිත්තු දහයෙන් දහයට හෝ ගැ‍ණෙන වේලාවන් ද නොවේ. මුරකාමි මෙන්ම කෞෂල්‍ය ද ආඛ්‍යානගත කරන්නේ බොහෝ විට අධි-නාටකීය හෝරා කියවීම් ය. යහනේ වැතිර ඉන්න කේෂානි ගේ සෙල්ෆෝනයේ සටහන් වේලාව රාත්‍රී 12.37 යි. පන්නිපිටිය දෙස වාහනය ධාවනය කරන තිවංක නුගේගොඩ පසුකරද්දි ප.ව 1.07 යි. නැවත විජේරාම හන්දිය අසලදී එය 1.27 යි (1.27 දී විජේරාම හන්දියේ වාහන තදබදය අසල සිර වී සිටිය ද තිවංක, අඩුම තරමින් ප.ව 1.58ට මිනිත්තු 8ක් හෝ 10ක් වත් තියෙන්නට පන්නිපිටියේ හයිලෙවල් පාරටම වන්නට පිහිටවා ඇති පාසලක් අද්දරට රිය පැදවීමට සමත් වෙයි).

නමුත් කෞෂල්‍ය මුරකාමීගෙන් පෝෂණය ලැබුවාට වඩා ඔහු ව යම් ආකාරයකින් කරඬුවක් ලෙස තම කෘතිය හරහා ප්‍රදර්ශනය කරමින් යන බව මට කීපවරක් සිතුනි. එම හැඟීමට සමාන අවස්ථාවක් මා ලැබුවේ මොහාන් රාජ් මඩවල ගේ (මෙම අවස්ථාවේ මට නම මතක නැති) කෙටි කතාවක් කියවීමේදීය. මඩවල ගේ මුල්ම අවධියේ කෘතියක් වන මෙය රූපාන්තරණයකට ලක්වන පුද්ගලයෙකු පිලිබඳවයි. නමුත් මා මුලින් ද සටහන් කල පරිදි කෞෂල්‍ය මුරකාමි ව කුලී පදනම මත පමණක් යොදාගනී. කතාව මැදදී, එක් අවස්ථාවක් පසුකිරීමේදී මුරකාමිමය ආඛ්‍යානය මග හැරී / හැලී සම්ප්‍රදායානුකූල සම්භාව්‍ය හඬකට කථකයා මාරු වෙයි. තම බිරිඳ වන කේෂානි ගේ විවාහයට පිට පෙම්වතා වන අසිත ගේ බිරිඳ වන උවනි ද සිල්වා ව බස් හෝල්ට් එකකදී හමු වී, තමා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් බවත් උවනි ව චිත්‍රපටයේ චරිතයකට ගන්නා බවත් පවසා, උවනි සහ ඇගේ මිත්‍ර නේත්‍රාව පන්නිපිටියේ සිට පිටකොටුවට ද, පිටකොටුවේදී කකුල උලුක්කු වන උවනිව එහි සිට ඇතුල් කෝට්ටේ පිහිටි නිවසට ද ඇරලා, ඊට පසුදිනම උවනිව තම දෙහිවල පිහිටි ෆ්ලැට් එකට ගෙන්වා තම බිරිඳ අසිත් සමඟ ලිංගිකව එක්වුනු ඇදෙහිම උවනි සමඟ ද ලිංගිකව එක්වීමේ ඉතාම අධි-නාටකීය, අභව්‍ය හා කෞෂල්‍ය එතෙක් ගොඩනගාගෙන ආ ආඛ්‍යානය කැති ගෑවී යන සිද්ධි පෙලකින් පසුව ඒ මුරකාමීමය දෝංකාරය නැවත කතා රාමුව තුලට විටෙන් විට පිවිසෙයි.

kawshalyaකෞෂල්‍ය කුමාරසිංහ “අහම්භය” යන සාධකය මත තම නිර්මාණ ව්‍යාපෘතිය ඉතා විශ්වාසයෙන් තුලනය කරන්නෙකි. මෙම සංරචකය ද අප මුල කී හරුකි මුරකාමිගේ ආයුධ පෙට්ටියේ නිතරම හමුවන කාරකයකි. අහම්භය හා එකිනෙක හරහා යන සමාන්තර අවස්ථා පාඨක අවධානය හා සමපාත කරවීම ඇතැම් අවස්ථාවන් හි දි වේදනාකාරී වන තරමට ආයාසකාරී වේ. තිවංක හා කේෂානි ගේ කුටුම්භය කේන්ද්‍රකොට ගොඩනැගෙන පථය හා සමාන්තරව යන පද්මි නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යාව ද ඇතුළු නිදහස් අධ්‍යාපනය හා සම්බන්ද තලය මෙම නිරීක්ෂණය හා බැඳේ. පද්මිගේ පෙම්වතා ලෙස ඇය පිලිගන්නා කමල් ව එදින රාත්‍රියේදී ම සුදුවෑන් එකකින් බොරැල්ලේදී පැහැරගනු ලැබේ. ඊට මොහොතකට පෙර තිවංක ඔහු සමඟ ගංජා සුරුට්ටුවක් උරමින් සිටි අතර, කතාවේ පසු අවස්ථා වලදී කෞෂල්‍ය උපායශීලීව කමල් පිලිබඳ කාරණය නැවත නැවත තිවංකගේ එදිනෙදා ජීවිතය හා අමුණන්නට උත්සාහ කරයි. ඔහු උවනිව සොයාගෙන වාහනය පදවන්නේ අතුරුදහන් කල කමල් සොයා ශිෂ්‍යයින් පවත්වන පෙලපාලියක් අතරිනි. කමල්ගේ සෞදි අරාබියේ දී මිය ගිය ගෘහ සේවිකා සොයුරියගේ මිනිය ගුවන් තොටුපොලට එන්නේ තිවංකගේ විවාහයෙන් පිට පෙම්වතෙකු සිටින බිරිඳ කේෂානි භාරයටය. කමල්ගේ පෙම්වතිය පද්මිගේ අක්කා කැරෝකි ශාලාවක සේවය කරන අතර තිවංක ඇය හා රාත්‍රියක් ගතකරයි. කමල් ගැන සදහන් හෑන්ඩ් බිල් එකක් තිවංකගේ සාක්කුවේ තිබී එය රෙදි සෝදන යන්ත්‍රයේදී පෙඟී, අනිත් ඇදුම් වලද කුඩු ලෙස දැවටෙයි. පන්නිපිටිය ධර්මාශෝක යැයි කෞෂල්‍ය පවසන විදුහල අසල තාප්පයේ කමල් ගැන පෝස්ටර් ගසා ඇත. තිවංක එතන සිටගෙන උවනි එන තෙක් බලා සිටියි. මෙම හරහා යෑම් වල සීඝ්‍රතාවය එක් අවස්ථාවකින් පසුව වෙහෙසකර වන අතර එය නිර්මාණයේ ප්‍රබලබව අභියෝගයට ලක්කරයි.

Murakami

මුරකාමි

කෞෂල්‍යගේ කෘතිය උවනිගේ හා තිවංකගේ ලිංගිකව එක්වීමේ දර්ශන හරහා යම් නාගරික ඉහල මධ්‍යම පාන්තික විඥානයේ ලිංගික පලිගැනීම හා බද්ධ වූ ෆැන්ටසියක් නිරූපණය කරයි. මෙවැනි ලිංගික ෆැන්ටසියක දෙවන අවස්ථාවක් කෘතිය අවසානයට එයි. ඒ කේෂානි, තිවංක, අසිත් හා උවනි එකම අවකාශයක හමුවන දර්ශන අවස්ථා සමගිනි. මගේ යෝජනාවට අනුව කෞෂල්‍ය නවකතාවේ මුල සිට ගොඩනගා එන රිද්මය හා බැදුනු ප්‍රකාශනයේ ශක්තිය තිවංක උවනිව හමුවන තැන සිට හීන වී යයි. ෆැන්ටසියේ නාමයෙන් කෞෂල්‍ය තම ආඛ්‍යානයේ විශ්වාසනීයත්වය නැතිකර ගනියි. මෙම තත්වය චින්තන ධර්මදාස වැන්නෙකුගේ “තිත්ත තොල්” වැනි කෘතියක තත්වය හා බැලීමේදීද වෙනස් වේ. ධර්මදාස ගේ කෘතිය නාගරික ලිංගික ෆැන්ටසියන් පොකුරක් නගරය හා ම ප්‍රක්ෂේපනය කිරීමක් වැනි ය. එය අරාජිකවාදී වන අතර පන්තිය, කුලය, වර්ගය, වාදය වැනි එදිනෙදා පැවැත්මේ සමාජමය ෆැන්ටසියන් හරහා යෑමේ විභවයක් ලිංගිකත්වයේ ෆැන්ටසියට ආරෝපණය කර ඇත. කාලය, අවකාශය වැනි කාරණා ගත්තත් ඒ අතර සමපාතයද බොඳ වූ එකකි. ධර්මදාස ඒ ආකාරයෙන් තම සීමා මායිම් තමා විසින්ම පනවාගෙන තමා හා තම වර්ගයා අතර සම්මුතියෙන් ගොඩනැගුනු තාර්කික අවකාශයක් තුල ඒ ෆැන්ටසි ප්‍රක්ෂේපණයේ යෙදෙන බව මට සිතුනි. ඒ නිසාවෙන්ම “තිත්ත තොල්” සුදු පිරුවටයක් වන්නේ නැති අතර මා මෙතෙන දී එම කෘතිය ගැන සදහනක් කරන්නේ කෞෂල්‍ය ගැන මා ගෙනයන අදහස් විමසුමට ආධාරකයක් ලෙස පමණි. “මේ රහස් කවුළුවෙන් එබෙන්න” කෘතිය එවැනි පටු ලිංගික උත්තේජනයකට එහා යන පොරොන්දුවක් මත දිගහැරෙන්නකි. උවනි හා තිවංක ගේ හමුවීම යම් ආකාරයක ගුරුත්ව කේන්ද්‍රයක් වීම හා එතනින් එහාට කතාව ෆැන්ටසිමය ලිංගිකත්ව කතිකාවක් (වැන්නක්) හරහා අධ්‍යක්ෂනය වීම අනපේක්ෂිත වූ තත්වයකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s