“සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය”, සයිටම් තීන්දුව සහ අපි.

education-for-all-1-728“සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය” යන්න ඉතාම අපූරු සංකල්පයකි. මන්ද, පූර්ව-කන්නංගර යුගයේ තිබුණු අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සදහා වූ සීමිත ප්‍රවේශය වෙනුවට වඩා පැතිරුණු නිදහස් අධ්‍යාපනය තුලින්ද ඒ කාලයේ බලාපොරොත්තු වන්නට ඇත්තේ “සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය” තහවුරු කිරීමක් විය යුතුය. මෙහිදී “සැම” ලෙස අර්ථ ගැන්වෙන්නට ඇත්තේ සමාජ-ප්‍රභූ හා වාණිජ-ප්‍රභූ නිර්වචනයෙන් පිට, අධ්‍යාපනයේ සීමාසහිත බව නිසා එය සාම්ප්‍රදායිකව අහිමි වූ හෝ සීමිතව පරිශීලනය කරන්නට යෙදුනු හෝ පිරිස් ඇතුළු සමාජයේ මැද හා ඉන් පහල ස්ථර මට්ටම්ය. ලංකාවේ අධ්‍යාපනයේ පරිණාමය හා ඉන් සිදුවූ සමාජ පෙරලිය වාක්‍ය රචනාවකින් උපුටා දැක්විය හැකි යයි සිතීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගින් අධ්‍යාපනයේ පවතින සීමාසහිත වීම් වලට ප්‍රගතශීලී විසදුම් දෙන, කාලීන සමාජ මෙහෙවරක් වූවායැයි සිතනවා තරම්ම මායාවකි.

සයිටම් ආයතනය හා බැදුනු අභියායචන තීන්දුව සමග ඇති වී තිබෙන පසුබිම තුල “සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය” යන තේමාව නැවත ප්‍රතිනිර්වචනය වී ඇති බව කෙනෙකුට තර්ක කල හැකිය. මෙහිදී, ප්‍රායෝගික අර්ථයෙන් ගන්නේ නම් “සැම” බවට පත්වන්නේ පවතින කුසලතා පදනම මත සම්ප්‍රදායික ලෙස කෙරෙන රජයේ විශ්ව විද්‍යාල වලට බදවා ගැනීම් වලට හසු නොවන කොටස් ය. මොවුන් ලංකාවේ ජාතික අධ්‍යාපන විෂය නිර්දේශය යටතේ ද, 1980 සිට ක්‍රමිකව පැතීරී ගොස් ඇති ජාත්‍යන්තර පාසල් වල ලන්ඩන් / එඩ්-එක්සෙල් නිර්දේශ යටතේ වුවද අධ්‍යාපනය ලැබූවෝ විය හැක. පොදු කාරණය වන්නේ පවතින තරගකාරී ක්‍රමයෙන් පරිබාහිරව ගොස්, ක්‍රය ශක්තිය හෙවත් ගැනීමේ හැකියාව මත ඔවුන්ට මෙම උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට හැකිවීමත්, වඩා විසුළුකාරී කාරණය වන්නේ එවන් පිටපාරෙන් යෑමේ ක්‍රමය “සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය” හා සමපාත වන බවට ඇතැම් අය විශ්වාස කිරීමත්ය.

“සැමට අධ්‍යාපනය” යන බෝඩ් ලෑල්ල හර පද්ධතියකින් තොරව භාවිතයේ යෙදුවහොත්, එම සැම දෙනා අතරට උසස් පෙල විභාගය අසමත් අයද, සාමාන්‍ය පෙල අසමත් අයද, ඉන් පහල ශ්‍රේණි අසමත් අයද යන සියළුදෙනා ද ඇතුලත් විය යුතු බවටද කෙනෙක්ට තර්ක කල හැකිය. අධ්‍යාපනය ඔවුන්ගේ ද අයිතියකි. විභාගයක් අසමත් වූ සැනින් එම අයිතිය උදුරා ගැනීමට කෙනෙක්ට පුළුවනිද? ශිෂ්‍යත්වයක් හෝ යම් ගෙවීමකට යටත්ව ඔවුන්ට ද උසස් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව හිමි විය යුතු නොවේද? උසස් පෙල විභාගයෙන් වෛද්‍ය පීඨයට අවස්ථාව ලබන්නට තරම් ලකුණු තත්වයක් නොලබන සිසුවාට වෛද්‍ය අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය සද්භාවයේ ප්‍රකාශයක් ලෙස සාමාන්‍ය පෙල අසමත් සිසුවාටද එසේම බලපෑ යුතු නොවේද? මෙහිදී මා මතු කරන්නට උත්සාහ කරන කාරණය වන්නේ ඕනෑම දාර්ශනීකරණයක් හා අර්ථ දීමක් යම් සන්දර්භයක පිහිටා කල යුතුය යන්නයි. අප උස්සන බෝඩ් ලෑල්ලක වන සටන් පාඨයත්, අපි පරමාදර්ශී අර්ථයෙන් ගන්නා වියුක්ත කියවීමත් අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුලට ගෙන ඒමේදී පවතින ක්‍රමයක් වේද, පවතින කුසලතා පිරික්සුමක් වේද, කුසලතාව මත කෙරෙන පිවිසුම් ක්‍රියාවලියක් වේද, ඉන් අතිරේකව කෙරෙන ආනයනය සැමට යන සද්භාවය හා ගැටෙන, එහි හරය නොඉවසන ප්‍රවේශයක් බවට පත්වේ. මෙම කාරණය හා සම්බන්ධ අදහස් කීපයක් මම වෙනත් අවකාශයකදී සටහන් කොට ඇත්තෙමි.

5සයිටම් ආයතනය හා බැදුනු අභියායචන තීන්දුව සමග ඇති වී තිබෙන කාරණය ඓතිහාසික හා ප්‍රගතිවාදී තීන්දුවක් ලෙස දකින මධ්‍යස්ථ ලිබරල් (වැනි) අදහසක එල්බ සිටින බොහෝ දෙනෙක්ද සයිබර් අවකාශයේ සැරිසරන ආකාරය අපි පසුගිය දින කීපය පුරාම දුටුවෙමු. තීන්දුවට කලිනුත්, තීන්දුවෙන් ලද පන්නරයෙන් ඉන් පසුවත් ඔවුන් පවසන්නේ ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය වන නමුත් ඒවා හි නියාමනය සදහා පිලිගත්, රජයේ මැදිහත් වීමක් ද සහිත ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. වෛද්‍ය ශිෂ්‍යයෙකුට පුහුණු කාලයක් අත්‍යාවශ්‍ය වන්නා සේම මෙම මතධාරීන්ට ද ලංකාවේ ආණ්ඩු කෙරෙන ආකාරය, 1978න් පසුව ජාතික සේවා සම්බන්ධව ලක් රජයන්ගේ ස්ථාවරයන් හා ප්‍රතිපත්ති, සේවාවන් නියාමනය කිරීම සදහා ඉන් කෙරෙන මැදිහත්වීම් ආදිය ගැන යම් හැදෑරීමක් තිබිය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, රජය විසින් පසුගිය තිස් පස් වසර තුල පොදුවේත්, පසුගිය දශකය තුල විශේෂයෙනුත් කරගෙන යන ජාතික සේවාවන් වෙලදපොලකරණය කිරීම හා එම සේවාවන් සැපයීමෙන් ක්‍රමිකව ඉවත් වීමේ විෂම ක්‍රියාවලිය ගැන යම් අදහසක් ඇති අයෙකුට ඉහත වන් ප්‍රකාශ කල හැකි වන්නේ නැත. නොවන දෙයක් හෝ වීමට අවම සම්භාවීතාවයක් ඇති දෙයක් හෝ විය යුතුයි යන්න පවසනවාට වඩා එම අසීරු අඩියට යෑමෙන් තත්වය වලක්වා ගැනීම වඩා ප්‍රගතශීලී මාර්ගයයි. වෛද්‍ය අධ්‍යාපනයේ තත්ව පරීක්ෂක ලෙස ක්‍රියාකරන වෘත්තීය රාමුවෙන් ද ප්‍රතික්ෂේපිත ආයතනයක් වලංගු කරවා ගැනීමට උරදෙන පාලන පැලැන්තිය මෙතනින් එහාට වෙනත් ජනතාවාදී පිවිසුමකට යන්නට ඇති ඉඩකඩ කුමක්ද?

protest1තීන්දුවෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කල මාධ්‍ය ප්‍රකාශයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිලිබදව රජයේ ස්ථාවරය ගැන යම් ඉගියක් ලැබුණා වැනිය. කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ලංකාවෙහි ආයෝජනය කරන්නට නියමිත මනිපාල් ඇතුළු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 5ක් ගැන පුවතකි. මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ ශාඛාව කළුතර ආශ්‍රිතව ඉදිකිරීමට බිම්සැලසුම් පවා සකස් කොට ඇති බව ඔහු එහිදී පැවසීය. සයිටම් තීන්දුව ප්‍රසූත වී ඇත්තේ මෙවන් බළලුන් කීප දෙනෙක් ද රජයේ ගේ මුල්ලක ලූ ගෝනියක දමා තිබුණු වකවානුවකදීමය. ලිබරල් මතධාරීන් අපට පවසන රජයේ මැදිහත් වීමේ සභාවන්ද පනවනු ඇත්තේ මෙම ගෙදරම වෙනත් කාමරයකය. තීන්දුවෙන් කිරිඇල්ල මහතා කිසිදු කම්පනයකට පත්වී සිටින බවක් හෝ අපි නුදුටුවෙමි. පවතින සහ ඇති වීමට නියමිත වෛද්‍ය විද්‍යාල නියාමනයට අවශ්‍ය ලේඛන, රෙගුලාසි හා ඒ මැදිහත්වීම් කරන්නට අවශ්‍ය ශ්‍රමය ගැන සිතන විට විෂය භාර ඇමතිවරයා මෙතරම් උපේක්ෂා සහගතව සිටීම ම ඉතාම සුභ ලකුණකි.

ඉතින් “අධ්‍යාපනය නිදහස් කරගැනීමේ” යැයි කියන පද පෙරලිය අද තිබෙන්නේ මෙතනය. ජාතික අධ්‍යාපනය පෝෂණය කිරීමට හෝ, එහි නඩත්තුව හා ගුණාත්මක කිරීමට හෝ ඕලාරිකව, අවමයෙන් මැදිහත් වන රජය තම ශීර්ෂය පියවා ගැනීමේ පහසු ක්‍රමයක් ලෙසත්, වක්‍ර ආදායම් මාර්ගයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ පෞද්ගලීකරණය භාරගෙන ඇති බව පෙනේ. ලංකාවෙන් පිටට යන විනිමය රට තුල රදවා ගැනීමට යැයි ද, වැඩි අධ්‍යාපන අවස්ථා ඇතිකිරීම උදෙසා යැයි ද කියමින් මුහුකුරා නොගිය තර්ක ඉදිරිපත් කරමින් ඉදිරියට ගෙන යන්නේ “සැමට” ලැබිය යුතු සම ප්‍රවේශයෙන් යුතු උසස් ප්‍රමිතියේ අධ්‍යාපනය වැලලී යන, වෙලදපොලකරණයෙන් පන්නරය ලැබූ නව සමාජ හා වාණිජ-ප්‍රභූ පන්තියකට අණබෙර ගැසෙන වැඩසටහනකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s