කුහකයින් හා කුක්කන් අතර ලංකාවේ අධ්‍යාපනය: අරගලය ඉදිරියට ගෙනයාමේ ගැටළුව

රජය විසින් සිදුකරන අධ්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධව පෙනී සිටින බලමුළු තුට්ටු දෙකට දමා ඔවුන්ගේ මතවාදී ප්‍රවාහයන් හා අදහස් අති-සරල කර, හාස්‍යය (වගේ එකකට) ලක් කරන සවිඥානික, කණ්ඩායම්ගත පලකිරීම් අද අපිට නිතරම ෆේස්බුක් හරහා දකින්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වී ඇත. “අධ්‍යාපනය නිදහස් කරගැනීමේ” මුවාවෙන් හෝ “සිරිපාල”ගේ වේෂයෙන් හෝ සමාජගත කෙරෙන මෙවන් අදහස් මූලිකවම “ශිෂ්‍ය ව්‍යාපාරය” හෝ “අන්තරය” හෝ කියා අපට හදුන්වා දිය හැකි අක්ෂයට එදිරිව කෙරෙන තුලනාත්මක ශ්‍රම භාවිතයක් විදිහටත්, පෞද්ගලික විශ්ව විද්‍යාල අවකාශය සයිබර් තලය හරහා සාධාරණීකරනය කරගැනීමේ සහ ඒ සම්බන්ධව ජන විඥානයට ඇමතීමේ බර  කරට ගත් භාවිතයක් විදිහටත් අපට තේරුම් ගන්න පුළුවන්. අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම ප්‍රතිවිරුද්ධ අක්ෂ දෙක ගැටීමේදී අපි බොහෝ විට දකින්නේ රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වේවා, ලංකාවේ විශ්ව විද්‍යාලාශ්‍රිත තාරුණ්‍යයේ කොටසක බුද්ධිමය විචක්ෂණ මහිමයට වඩා කඨෝර වාචාල හුවමාරුවන් සහ කුලප්පු කරගැනීම් ය. එහි වරදක් ඇත්තේ යැයි පැවසියද නොහැකි වන්නේ ජාතික ප්‍රශ්ණයක් වන අධ්‍යාපනය සම්බන්ධව ඒ මට්ටමින් කෙරෙන අරගලයද ඉතා වැදගත් නිසායි. ඒ වුවත් වඩා ඛේදනීය කාරණය වන්නේ මෙම අවලාද කරගැනීම් හා කොටා ගැනීම් අතරමැද අධ්‍යාපනය සම්බන්ධව ප්‍රධාන හා එහි දැවෙන ගැටළු වෙනුවෙන් අපට කරගත හැකි මැදිහත්වීමේ අර්ථාන්විත බව කෙලෙසී යාමත්, බෙදා වෙන් කර පාලනය කිරීමේ න්‍යාය මොනවට භාවිත කරන අපේ පාලක පැලැන්තිය ඔලිම්පස් කන්ද මුදුනේ සිට පොඩි පොඩි මනුසත්තු අතරේ කෙරෙන පොඩි පොඩි හරඹ බලා විනෝද උන ග්‍රීක දෙවිවරු මෙන් තම තමන්ගේ ප්‍රහසනයන් වඩා විශිෂ්ට අන්දමින් වේදිකාගත කරගැනීමත් ය.

library3ඉතින්, අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෝ ශිෂ්‍ය ව්‍යාපාර හෝ යයි හදුන්වාගන්නා ගාමක බලවේගයට විරුද්ධව, සවිඥානිකව පෙලගැසුනු ප්‍රතිහෙජමොනික බලයක් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පාර්ශවයෙන් එල්ල වී තිබෙන බව දකින්නට ඇති කරුණකි. 1980 දශකය හරහා ජනතා විමුක්ති පෙරමුණුකරණය වුණු අන්තරේ ට එරෙහිව 1980 අග භාගයෙන් පසු දක්ෂිණාංශයෙන් එල්ල වන ප්‍රබලතම වෙඩිමුරය මෙම පෞද්ගලීකරණවාදී සිසු හඩයි. කොලඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය හෝ ජාතික චින්තන කණ්ඩායම වන් මතවාදී නැංගුරුමක් නොමැති වුවත්, මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රචාරණ කණ්ඩායම අන්තරේට වඩා දැනෙන ප්‍රහාරයක් එල්ල කරන බව මගේ මතයයි. මෙම ප්‍රහාරය වඩා තීරණාත්මක වන්නේ අද කාලයේ අපේ දේශපාලනය මතවාදයෙන් බැහැර වී තිබීමත්, මතවාදය කියන එක එදාත්, අදත්, තම කට්ටිය බෙදා වෙන්කර ගැනීමට කමිසයේ ගසන පලදනාවකට වඩා වැඩි දෙයක් නොවීමත්, අද එවැනි පලදනා බහුල වීම නිසා පලදනාව බොරුවක් බව වෙලදපොලකරණය හරහා අපට කාවද්දා ඇති නිසාත්ය. අන්තරය මෙම ප්‍රහාරයේ බරපතල කම තවම තේරුම් ගෙන ඇත්ද යන සැකය පැනිනගියි. තේරුම් ගත්තත් නැතත්, මෙවන් තීරණාත්මක සන්ධියකදී තම දේශපාලන භාවිතය ගැන තක්සේරුවක් හෝ යායුතු දිශාවක් ගැන ප්‍රගතිගාමී කියවීමක් අන්තරයට ඇත් ද යන්න ඊටත් වඩා අපට වදදෙන ප්‍රශ්ණයකි. යන මාර්ගයක් හෝ නිරවුල් පිවිසුමක් නැති තැන තේරුම් ගැනීමක් ඇතත් නැතත් එහි වැඩි වෙනසක් නැත්තේය.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කොට සෞභාග්‍යමත් මතු සිසු පරපුරක් ඇති කෙරුමට සයිබර් අවකාශයේ සැරිසරන බෝහෝ සංවිධාන හා පුද්ගලයින්ගේ සමාජය හා බද්ධ වුණු, ප්‍රතිපත්ති මත පිහිටවූ, ආචාර ධර්මීය කාරණා හා ගැටගැසුණු දේශපාලනයක් නැත. ඔවුන්ගේ සටන් පාඨ බොහෝ විට නිර්දේශපාලනිකය, ඉතිහාසමය ප්‍රඥාවකින් හීනය, අවස්ථානෝචිතය. අප ජීවත්වන පරිභෝජනවාදී සමාජයේ ඇති ක්ෂණික ඉල්ලුම හා ක්ෂණික සැපයුමක බලාපොරොත්තුවේ දිගුවක් ලෙස ඔවුන්ගේ අධ්‍යාපන අරගලය හදුනාගැනීමට හැක. “අපි කැමති නම් අපි වෛද්‍යවරුන් වීමට අවස්ථාවක් ලද යුතු වෙමු” යන්න නියමිත ක්‍රමයක් හෝ අධ්‍යයන ක්‍රියාවලියක ගුණාත්මක ඵලයකට වඩා ආශාව හා එහි සන්තර්පණය යන සෘජු සම්බන්ධය හරහා ඔවුන් හදුනාගන්නට යෙදෙයි. “මම මිලක් ගෙවන්නේ නම් මා එම පාඨමාලාව හැදෑරිමට සුදුස්සෙක්මි” යන්නෙන් අධ්‍යාපනය වටා ඇති  වරණය හා අවස්ථාව හා බැදුනු වඩා බරපතල අර්බුද රැසක් මග හරින්නට උත්සාහ කරයි. යම් පාඨමාලාවකට රජය ලබාදෙන ප්‍රතිපාදනය සෑහෙන්නේ 100 දෙනෙක්ට නම්, 101 වෙනියා හා 102 වෙනියා පසු කොට 900 වෙනියා තම අවශ්‍යතාව සන්තර්පණය කරගැනීමේ ක්‍රමවේදයේ සම-අවස්ථා අර්ථයෙන් ගත්තත්, ආචාර ධර්මීය පදනමෙන් ගත්තත් නොදැක සිටිය නොහැකි හිඩැසක් ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල ගැත්තා මෙම වඩා ප්‍රබල සමාජ ගැටළුවට ඉගි මරා තම පෞද්ගලික ප්‍රශ්ණය විසදගැනීමේ විෂම අඩියට ප්‍රවේශ වීමත්, එම ප්‍රවේශයට උල් පන්දම් දීමත් මෙහිදී සිදුවේ. 1980 දශකයේ ඇරඹි, 90 දශකය හරහා වර්ධනය වූ, සහ රාජපක්ෂ රෙජීමයේ එස්.බී දිසානායක ඇමතිවරයා කාලයේ වඩා තීරණාත්මකව එලඹුනු රජය රටේ අධ්‍යාපනය ගැන සිය වගකීම් හා යුතුකම් පැහැර හැරීමේ දී තම ශීර්ෂය තුලනය කරගැනීමට යොදාගන්නේ මෙම පෞද්ගලික ආයතන වල ඔඩු දිවීමයි. ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් මෙය ඉතාම දුක්ඛිත තත්වයකි.

මෙහිදී පෞද්ගලික විශ්ව විද්‍යාලකාමී පිරිසට අවලාද නැගීමෙහි තේරුමක් ද නැත. අර්නස්ට් මැකෙන්ටයර්ගේ නාට්‍යයක එන වැකියක් මෙහිදී මට සිහි වෙයි: “අවස්ථාවාදියා යනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නා වන අතර අවස්ථාවක් එන්නේ ප්‍රයෝජනයක් ගන්න නොවේ නම්?”. වල ඉහ ගැනීමේ හා පවතින තත්වයෙන් උපරිම වාසියක් ලබාගැනීමේ තැන සිට බලද්දී පෞද්ගලික විශ්ව විද්‍යාල සංසිද්ධියේ වඩා දරුණු තැන් ගැන ඔවුන් නොදැකීම හෝ නොදැක සිටීමට තීරණය කිරීම වරදක්ම නොවේ. නමුත්, තම අරමුණු පටුවෙන් සාක්ෂාත් කරගත්තත් අන්තරේ හෝ ශිෂ්‍ය ව්‍යාපාරය හෝ බලගන්වන්නට යෙදෙන අරගලයේ වඩා සියුම් කරුණු ගැන තම අවධානය නොදීම මුග්ධ, ප්‍රතිගාමී, අශිෂ්ට පිවිසුමකි.

Sri Lanka University Students Protest Rajarata Campus IUSFප්‍රතිහෙජමොනික ආරෝපණයක් ද ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලකාමී පිරිසෙහි ෆේස්බුක් පාඨයන් කීපයක් විමසා බලමු. එක වැකියක කියවෙන්නේ “මෙඩ්ඩන් වෙනුවෙන් කඩේ යන ආර්ටන් පව්” වැනි කියවුමකි. කලා උපාධි අපේක්ෂකයා සරසවි සමයේ ද, ඉන් පසුවද, රැකියාවකට ගිය පසුවද කහින සත්ව කොට්ඨාශයක් ලෙසත්, ආණ්ඩුවෙන් හිගන, ආණ්ඩුව දෙනකම්ම බලා හිටින, “ලොස්” කුලකයක් ලෙසත් මෙහිදී දක්වා ඇත. මේ අර්ථගැන්වීම සිද්ධ වෙන්නේ පවතින අරගලකාරී සන්දර්භයේ කලා පීඨ ශිෂ්‍යයා ජවය දෙන තරමක් දැනෙන භූමිකාව ද ඇතුලත් වපසරිය තුලයි. තවත් පෙලගැස්වීමක දැක්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයට එරෙහි වන බලවේග “කුහක” බවත්, 20%කට පමණක් සීමා වූ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අන් අය ලබනවාට ඔවුන් වැටකඩොලු බදින බවත් ය. “සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇතැ”යි අපිට මතක් කර දෙන ඔවුන් එම හඩින්ම කියන්නේ “ගෙවන්න පුළුවන් නම් ගෙවලා ඉගෙන ගත්තම කුහකයින්ට අජීර්ණයි” වගේ පැසසුමකි. ඒ අතරම, විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් අඩු 80%ට කුමක් වන්නේදැයි අසන ඔවුන් එම 80%ට යා හැකි විකල්පයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල අවකාශය දක්වයි. ලංකාවේ එම විශ්ව විද්‍යාල ප්‍රචලිත කිරීමෙන් රටෙන් පිටට ගලා යන විනිමය පවා ඉතිරි වෙයි. එම විනිමය ඉතිරිකර ගැනීමෙන් රටේ ආර්ථිකයට පවා යහපතක් සිදුවන බව මතක් කරදෙයි.

මෙම තර්ක ඉතා ලාමකය. නමුත් මෙම තර්ක දැනෙන ලෙස ඛණ්ඩනයට හෝ ඒවා උපුටා බිදහෙලීමට හෝ ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වී නැත. එම ව්‍යාපාරය ඒ තරමට නිස්සාරව ඇත. තම පල්ලියේ සභාවටම නරකාදිය ගැන උගන්නන පාදිලි උන්නාන්සේ සේ, අන්තරයද තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටම බණදෙසන මැෂිමකට එහා ගිය බවක් අපට පෙනෙන්නේ නැත. ඉතාම පටු තීරයක, පරිකල්පනය හීන නායකත්වයක් හා බද්ධව, සමාජ විපර්යාස හා සමාජ ප්‍රමුඛතාවයන් ගේ පර්ණාමයන් නොතකා රැළ ශක්තිමත් කරගැනීමට 1980 දශකයේ යොදාගත් බිලී කොකු පාස්ස පාස්ස පාවිච්චි කරමින් යන පැරෝඩික ගමන ඉතාම අවප්‍රමාණිකව දක්ෂිණාංශය හා ගැටෙයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල සංසිද්ධිය හරහා එලොව යන්න කකියන පිරිසට මතක් කල යුතු කාරණා දෙකක් ඇත. එකක් නම් සමාජය යන පද්ධතියත්, අධ්‍යාපනය යන එහි එක් වැදගත් රචකයත් එම සමාජයේ ආර්ථිකය හා කාලාන්තරයක් තිස්සේ එහි වන හා වුණු හැඩගැසීම් හා සමපාත වියයුතු බවත් ය. ස්කැන්ඩිනේවියාව හෝ බටහිර යුරෝපීය රටක හෝ පාඨමාලා වරණය හා සැකසුම දක්වනනෙක් එම රටවල අධ්‍යාපනයේ ඉතිහාසය ඔස්සේ සිදුවුනු ක්‍රමික පරිණාමයද සැලකිය යුතුය. ෆින්ලන්තය වැනි රටවල එයටම ආවේණික අධ්‍යාපන රටාවන් පවතින අතර පාඨමාලා වරණයන් හා ප්‍රවේශ අවස්ථා විවිධාකාර වේ. නමුත් ඒ එම රටේ ආර්ථිකයට හා සමාජ සැකැස්මට සාපේක්ෂවයි. දෙවැනි කරුණ වන්නේ, ඕනෑම පද්ධතියක සාමාන්‍යයෙන් ගුණාත්මක බව මත රැදුනු “අවම අවස්ථාවක්” පවතින බවයි. උදහරණ ලෙස, ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන්න නම් අවම එස්.ඒ.ටී ලකුණක්, ටෝෆල් ලකුණක් හා වෙනත් කරුණු සම්පූර්ණ කල යුතුයි. ලබන ලකුණු අනුව ඇතැම් විශ්ව විද්‍යාලයකට ඇතුල් විය හැකි වුවත් තවකකට ඇතුල් වීමට එම ලකුණ මදි අගයක් විය හැකිය. මෙම ගුණාත්මක තක්සේරුව කුමන පද්ධතියකට ගියත් පවතින අතර අපගේ සටන විය යුත්තේ එහි පරාසය පලල් කරගැනීමත්, එම ප්‍රසාරණ ක්‍රියාවලියට අධ්‍යාපනය ගැන පිඹුරුපත් සකස්කරන්නන් යොමුකරවා ගැනීමත් ය. පෞද්ගලික විශ්ව විද්‍යාල අවස්ථානෝචිතව ඇටවීමේ තත්වය තුල මෙම පරාසය පලල් වීම සිදුවන්නේ නැත.

crgjixkweaaq2_cපෞද්ගලික විශ්ව විද්‍යාල පවතී නම් සැමට පිලිගත හැකි පොදු ක්‍රමයක් තුල පැවතීම අත්‍යාවශ්‍ය වේ. යම් මධ්‍ය සභාවක් හරහා කෙරෙන බදවාගැනීම් හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලටද පොදු ජාතික ලකුණු ලයිස්තුවක් ආශ්‍රිතව බදවා ගැනීම් කිරීම වැනි සම ප්‍රවේශ ප්‍රවණතා ඇති තැනකට පෞද්ගලික විශ්ව විද්‍යාලය ගෙන යා යුතුය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට පොදු පටිපාටියක් එතැනට ද ආදේශ කල යුතුය. මීට සමාන්තරව රාජ්‍ය විශ්ව විද්‍යාල වැඩි දියුණු කිරීම, ඒවා හි භෞතික මෙන්ම අධ්‍යාත්මික දියුණුවකට මං කැපීම මෙන්ම පුස්තකාල, දේශන පහසුකම් සහ යටිතල දියුණුව ඉලක්ක කරගත් ක්‍රමවත් ආයේජනයකට යෑම ඉතා වැදගත් වේ. මෘදු කුසලතා හා අයි.ටී වලින් එහා ගිය ආයෝජනයක් තුලින් වඩා ප්‍රගතිශීලී අධ්‍යාපන මෙවලම් පාඨමාලා තුලට ගෙන ඒම, පාඨමාලා යාවත්කාලීන කිරීම හා අවස්ථා වැඩිකිරීම අනිවාර්යය.

පෞද්ගලික විශ්ව විද්‍යාලකාමීන් අධ්‍යාපනයේ පලල්වී යනු කුමක්ද යන්නත්, අධ්‍යාපනයේ සමාජ ගැටළුව කුමක්ද යන්නත් වඩා විශ්වීය අර්ථයෙන් තේරුම් ගැනීම කල යුතුය. ලද අවස්ථාවෙන් තම අධ්‍යාපන අරමුණු ඉටු කරගත්තත් යථා තත්වය ගැන සැකයක් හෝ විචිකිච්ඡාවක් ඉතිරි කරගත යුතු නොවන අතර, මෙම කතිකාවේ “කුහකයින්” කවුදැයි  සෙවීමට වඩා විචක්ෂණ දර්පණයක් තමා වෙතටම අල්වා ගැනීම කල යුතුය. නමුත් මෙහි බරපතලම කාර්යය ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයටයි. තම අඩුපාඩු සකසා ගැනීම, තම අරගලකාරී මාවත සහ අරගලයන් ගැන අළුතින් සිතීම මෙන්ම තමා කරන්නේ කුමක්ද? එය සද්භාවයෙන් කරන හඩනැගීමක්ද යන්න ප්‍රති-ආවර්ජනය කිරීමේ ඉතා කාලෝචිත ලකෂ්‍යයට ඔවුන් දැන් ඉතිහාසය විසින් පමුනුවා තිබේ. පෙර නොවූ විරූ පරිදි බිදවැටීමකටත්, ප්‍රතිරූපය හා වේගය දියාරුවීමකටත් ඔවුන් ලක් වී ඇත. මහජනයා ඉදිරියේ එම සටන් පාඨ ලොතරැයි ටිකට් විකුණන හඩක් මෙන් සාමාන්‍යකරණය වී, දියාරු වී ගොස් ඇත. ලංකා සමාජයේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ප්‍රදර්ශන ආයිත්තම් හැර අන් සියළු දේම 1980 ගණන් වලින් මෙපිටට පැමිණ ඇත.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s