“දෙහි” — එහි බර, හැඩය සහ කැපුම

photo“මතකය” හා ඒ “අතීත ස්මරණයන්” ගෙනහැර දක්වා ඇති ප්‍රතිභාව අතින් හිමාලි ලියනගේගේ දෙහිඃ සුවද, රස සහ කටු ඉතා ප්‍රබල නිරූපණයක් ඉදිරිපත් කරයි. ඇල්වතුර වී ගිය විවාහයක් ඇතුලේ හිරවුණ තරුණියකගේ කෙලිලොල් අතීතය හා වර්තමානය අතර දෝලනය වෙමින් වියවෙන නවකථාව කාල-අවකාශ කීපයක්ම හරහා ලාංකික මෙන්ම විදේශීය සමාජ-සංස්කෘතික තලයන්ද අතරින් වේගයෙන් ගලා යයි. හිමාලි ලියනගේ මෙම කෘතිය ලියන්නේ ලංකාවෙන් බැහැර, නිව් ජර්සි වල සිට වන අතර, සුහානි හා රමේෂ් යන ඇගේ කතා නායක නායිකාවන් — විශේෂයෙන්ම සුහානි — තම මතකයන් තුලින් යලි බැහැ දකින ලංකාව ඉතා ප්‍රබල චිත්‍රණයක් තුලින් අප මනසේ කේන්ද්‍රගත කෙරෙයි.

හිමාලි ලංකාවෙන් බැහැරව සිට ලංකාව ගැන නිර්මාණ කාර්යයේ යෙදෙන පිබිදෙන ඩයස්පෝරික සිංහල සාහිත්‍යයක නැවුම් පුරුකක් වීමට ඉඩ කඩ සකසාගනු පෙනේ. ලංකාව හා බැදුනු ඩයස්පෝරික සාහිත්‍යයක් සිංහලයට වඩා අප නිරතුරුවම අත්දකින්නේ දෙමල හා ඉංග්‍රීසියෙන් ලියන ලංකාව හා සම්බන්ධ සමාජ කොටස් හරහා ය. මයිකල් ඔන්ඩාජේ, ශ්‍යාම් සෙල්වදුරෙයි, අම්බලවනර් සිවනන්දන්, රොමේෂ් ගුණසේකර ආදී ලංකාව හා බැදුනු අනන්‍යතාවයක් සහිත ඉංග්‍රීසියෙන් ලියන පුද්ගලයින් අපට හමුවන්නේ මෙහිදීය. මෙම ගොඩට මෑතකදී එකතු වූ නම් අතර රෝමා ටියානි, නිරෝමි ද සොයිසා (අනවර්ථ නාමයකි) ද වේ.

ඉංග්‍රීසියෙන් ලියමින් ලංකාව හා බද්ධිත සමාජ දේශපාලන ප්‍රපංචයන් තම නිර්මාණ ෆැක්ටරියට එකතු කරගැනීමට අර අදින ඉහත ලේඛකයින් අතරින් බහුතරය බොහෝ අවස්ථාවල දී “ලාංකික ගෘහස්තය‍” — එනම්, ලාංකිකයෙකු එදිනෙදා අත්දකින ලංකාවට — හා සමපාත නොවන නිරූපණයන් ද, එම ගෘහස්ථ ලාංකික යථාර්ථය කම්පනය නොකෙරෙන චිත්‍රණයන් ද හා පොරබදිනු නිතරම දැකිය හැක. වෙනත් ආකාරයකට කිව්වොත්, බොහෝ විදේශිත ලාංකික ලේඛකයින් අතින් ලංකාවේ එදිනෙදා ජීවන රිද්මය හෝ එහි යථාර්ථවාදී ප්‍රක්ෂේපනයන් හෝ අභව්‍ය හා නිශ්ප්‍රමාණ ලෙස රචනයට නැගෙනවා කොතෙකුත් දැකිය හැක. ඉහත සදහන් කල මයිකල් ඔන්ඩාජේ හා රොමේෂ් ගුණසේකර නැවත නැවතත් අපහට බලකර සිටින්නේ මෙම කාරණය සාක්ෂාත් කරගන්නා ලෙසයි. මෙම සංස්කෘතික හීන-කම්පනය ඉංග්‍රීසියෙන් නිර්මාණකරනයේ යෙදෙන ගුණසේකර වැන්නන්ටත්, (නිවාඩුවට වගේ ලංකාවට පැමිණ කොළඹ 3-4-5-7 චූටි ළපටීන්ට කතන්දර ලියන හැටි උගන්වන) සෙල්වදුරෙයි වැන්නන්ටත් වඩාත් අදාල බව පෙනේ.

මීට වෙනස් කම්පනයක් ඇති කරන සිංහල හා දෙමළ භාෂා වලින් ලේඛනයේ යෙදෙන ජෙයපාලන්, සෝබාසක්ති හෝ රෝහිත මුණසිංහ හෝ වැන්නන්ගේ ලාංකීය ස්මරණයන් හා මතකයන් හා බැදි සාහිත්‍යය ඉතා තියුණු ලෙස දේශපාලනික හා සමාජ විඥානයකින් පදම් කෙරී අප අතරට එයි. හිමාලි ලියනගේගේ දෙහි ද මනා සංයමයකින් යුතුව ලාංකික යථාර්ථය “ගෘහස්ථ” ලාංකික පාඨකයෙක්ගේ ද “අතට අහුවන” ආකාරයෙන් නිරූපණය කර ඇත. මා දන්නා තරමින් හිමාලි ලංකාවෙන් පිටවී වසර 15කට ආසන්න කාලයක් වියයුතු වුවත්, “මතකය” නැමැති කැඩපතින් ඈ ආපසු බලන්නේ ද, අතීතකාමය නැමැති හැමවිටම-එකලෙස-පාපකාරී නොවන කාමයෙන් මඩින්නේද සාමාන්‍ය මධ්‍ය පාන්තික ලංකාවක් හරහා විහිදෙන සමාජ තලයකි.

දෙහි හි එන කතා පුවතට වෙනස් වුවත්, වියමනෙහි වන විනිවිද-යන සුලුබව අතින් මගේ මතකයට නැගුනු තවත් පඨිතයක්වන්නේ ප්‍රමෝද් කදනාරච්චි විසින් වසර කීපයකට පෙර (ඉංග්‍රීසියෙන්) ලියවුණ හාර්ට් චක්‍රයි. ඔස්ට්‍රේලියාව කේන්ද්‍රකර ගනිමින් ලියවුණු මෙම කෘතියද ඉතා සංවාදශීලීව ලාංකික ගෘහය තුලට නිරන්තරයෙන් පිවිසෙයි. හිමාලිගේ කෘතියද ඔස්ට්‍රේලියාව, ඇමරිකන් ජනපද කීපයක්, මැලේසියාව හා අවසන කැනඩාවද ආදී ලෙස රෝම අධිරාජ්‍යයටත් එහා ගිය භූමි පදාසයක් ආවරණය කරයි. නමුත් ලාංකික පාඨකයා මුලුගන්වන හෝ ලාංකික සමාජ-දේශපාලන ස්පන්දනය නිර්වින්දනය කෙරෙන හෝ අවලම් ඔන්ඩාජේමය ප්‍රවේශයක් දෙහි අතින් කිසි විටෙක සිදුනොවේ.

සල්මන් රුෂඩී තම ඉමැජිනරි හෝම්ලන්ඩ්ස් කෘතියේ සදහන් කරන (මා කිසිවිටෙක එකග නොවන) කාරණයක් මට මෙහිදී සදහන් නොකර බැරි ය. එනම්, ඩයස්පෝරික නිර්මාණකරුවා, අතීතාවර්ජනය තුලින් යෙදෙන නිර්මාණ කාර්යයේ දී තම මතකය “බිදුනු කැඩපතක්” සේ යොදාගන්නා බවයි. විශේෂයෙන්ම යුරෝපීය අධිරාජ්‍යවාදයේ තෝතැන් බවට ශතවර්ෂ ගණනාවක් පුරා පැවැති ආසියාතික හා අප්‍රිකානු භූ-දේශපාලනික සන්දර්භයන් හා අලලා රුෂ්ඩී ලියන්නට යෙදුනු ආන්දෝලනාත්මක පොත් කීපයක හරය වන යූරෝ-ඇමරිකන්වාදී විඥානයක් සමබර කරගැනීමට ඔහු විසින්ම ගසා ගත් මුක්කුවක් ලෙස ය මා ඉහත අදහස දකින්නේ. මන්ද යත් හිමාලි ලියනගේ වැනි ලේඛකයින් — එවන් අනෙත් අය ද අතර — අතීතාවර්ජනයට නොබිදුනු කැඩපතක් ඉතා සරල ආකාරයෙන් යොදා ගන්නා නිසාය.

හිමාලිගේ කෘතිය හෝ එහි කතා විකාශය ගැන හෝ ප්‍රබල විනිශ්චයක් පල නොකරන මුත්, දෙහිහි අවසානය මුලු කතාවේ ම (ඒ වන විට ලබා තිබූ) ජවය දියකර හැරීමට සමත් වූවා යැයි හැගිනි. රමේෂ් අනියමින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආධාරකරුවකු කිරීම තුලින් ද, යසීමා (සුහානි-රමේෂ් කුටුම්භයේ මෙහෙකාරිය) හමුදා බුද්ධි නිලධාරිනියක් කිරීමෙන්ද හිමාලි ඇගේ කෘතිය පුපුරුවා හැරි බවක් තේරුම් ගියේය. විවිධාකාරයේ හැගීම් සංස්ලේෂණයක් අතරින් ධාරිත්‍රව එතෙක් දුර රැගෙන ආ කථාවට අනවශ්‍ය කෘත්‍රීම බවක් මෙයින් එන්නත් කෙරිනි. දෙහි ලියා ඇත්තේ 2009-2010 අතර කාලයේ වන අතර ඉතාම සුමට වූ ලිබරල් දෘෂ්ටියක් කථාව අග්ගිස්සට ගිල්වා ඇත. ප්‍රභාකරන්ගේ මරණය සාධාරනීකරණය කිරීමටත්, කිරිබත් කමින් පාරවල් ගානේ නැටූ නිවටයින්ට කෝචොක් කිරීමටත් හිමාලි මෙම දෘෂ්ටිය යොදාගනී. නමුත් මෙම කාරණා/සාධක දෙක වඩා පුලුල් ඓතිහාසික රාමුවකින් වෙලී පවතී. හිමාලි එම ඓතිහාසික-දේශපාලන තලය ආක්‍රමණය නොකරයි. ඇතැම්විට එම ආමන්ත්‍රණය නොකිරීමම හිමාලි ලියනගේගේ “දේශපාලන ස්වර්ගස්ථවීමට” රුකුල් දෙනු ඇත (ආමේන්). කථාවේ එක් තැනක ප්‍රභාකරන්ගේ මරණය දෝෂදර්ශනයට ලක්වේ. එනම් ඔහු (ඇතුලු අනෙක් නායකයින්) හට “හරාකිරි” කරගැනීමට වත් ශක්තියක් නොමැති බවත්, ඔහුගේ ප්‍රාණය නිරුද්ධිත සිරුර බිම වැටී තිබී හමුවූ බවත් ය. ප්‍රභාකරන්ගේ මරණය ගැන මත ගණනාවක් පවතින අතර එක් ප්‍රකාශිත මතයක් වන්නේ ඔහුගේ දිවි සිදුනේ දකුණේදී බවත්, පොරෝ පාරකින් බවත්ය.

දෙහිහි වඩා ප්‍රබල භූමිකාව සුහානිගේය. සුහානි චරිතය මා දකින්නේ අඩු-වැඩිය සීරුමාරු කෙරූ, හිමාලිගේ ම ලමාවිය අත්දැකීම් (හෝ කම්පනයන් හෝ) ද එක්තැන් වන නිර්මාණ අවස්ථාවක් ලෙසයි. සපත්තු නොසෝදා, එහි සුදු හුණු අතුරා ශිෂ්‍ය නායිකාවන් නොමග යවන තැන සිට පියා හා දියණියගේ වන සම්බන්ධය ද දක්වා සුහානි හා කතුවරිය අතර ඇති පරතරය ඉතා අවම බව හැගේ. සුහානි එක් තැනක “අධිසංවේදී” ලෙස විස්තර කෙරේ. ගමනක් යන අතරතුර තමා කැමති ගීයක් අසන්නටම ඈ පාන් කඩේක ප්‍රමාද වෙයි. නිව් ඉංග්ලන්ඩ් ගිය අවස්ථාවක විචිත්‍ර වර්ණිත කොල අතරින් ඇය ස්වභාව ධර්මය වෙතටම ඇදීගෙන යයි. හිමාලි ලියනගේ, කෙසේ වෙතත්, සුහානි හා ඈ අතර එවන් සමාන්තරතාවයක් නොදකී.

නවකථාවේ අභව්‍ය යැයි හැගුනු අවස්ථා කීපයක් ලයිස්තු තබමින් මෙම කෙටි සටහන අවසන් කරමි. මයුරන් විසින් රමේෂ්ගේ මව දූෂණය කිරීම හා රමේෂ්ට අවසන දී තම පියා හමුවීම යන කාරණා සම්බන්ධ තාර්කික වටපිටාව කතා ආඛ්‍යානයෙන් සකස් නොකෙරේ. මෙම සිද්ධීන් දෙකම පැරෂූට් කල සිද්ධි දෙකක් මෙන් පෙනේ. අන් සෑම අවස්ථාවකම සිංහල විඥානයක් පෙන්වන සුහානිගේ පියා කුඩා දියණිය සමග පමණක් ඉංග්‍රීසියෙන් කතා කිරීම ද තරමක් ප්‍රශ්ණකාරී විණි. යසීමා “මනුෂ්‍යත්වයේ නාමයෙන්” රමේෂ්ව “නිදොස් කොට” මයුරාන් ගැනම තම ප්‍රධානීන්ට වාර්තා කිරීමද අභව්‍ය භාවිතයකි. හමුදාවේ “මානුෂීය මෙහෙයුම්” ගැන නවකථාව රචිත සමයේ කෙරුනු කතා බහ හිමාලිගේ පරිකල්පනයටද තදින්ම වැදී ඇත්තා සේය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s