සරච්චන්ද්‍ර, “මතුලොව” (After World) සහ හිච්කොක් අතර මුදිත‍ා ධර්‍මසිරිගේ “ලෝකාන්තර”

drama1“පේරාදෙණියෙන් නාට්‍ය දෙකක්” යන තේමාවෙන්, සරච්චන්ද්‍ර ශත සංවත්සර සැමරුමට යැයි කියා කංචුකා හා මුදිතා ධර්මසිරි දෙදෙනා ඒ පිලිවෙලින් රචනා කල සුභා සහ ලෝකාන්තර නාට්‍ය දෙක පසුගිය දා පේරාදෙණියෙදීත්, බොරැල්ලේ දීත් වේදිකා ගත කෙරුනි. මෙම නට්‍ය දෙකෙන් සුභා නැරඹීමට නොහැකි වුන නමුත් පේරාදෙණියේදී ලෝකාන්තර නරඹා අතරමැදිබව පිලිබද වන දැනුම වඩා පුලුල් කරගැනීමේ අවස්ථාවක් මම ලැබුවෙමි. මා අසුන්ගෙන සිටි පේලියේ නාට්‍ය සමග විවිධ මට්ටමින් ගැටී ඇති තවත් අයද දෙතුන් දෙනෙක්ම වූ අතර, සාහිත්‍යය පිලිබද යම් අදහසක් වන සෙසු පිරිසක්ද වූහ. මෙම කරුන හේතුවෙන්ම ලෝකාන්තර නාට්‍යය රගදැක්වෙන අතරත් ඉන් පසුවත් නාට්‍යය ගැන විවිධ අදහස් පලකෙරුනු සංවාදයකට එක්වීමේ අවස්ථාවක්ද මම ලැබුවෙමි.

මෙම අදහස් අතර නාට්‍යය පුහු යැයි අර්ථකථනය කල අයද වූහ. ඉතා කෘත්‍රීම ලෙස සම්භාව්‍ය ව්‍යුහයක් තුලට ආයාසයෙන් කවා, කෘත්‍රීම අවකාශක් හගවා කරන ලද අනදාල වෑයමක් ලෙස නාට්‍යය දැක්කෝද ඒ අතර විය. නමුත් පෞද්ගලිකව මා ඒ මතයන් හා ඒ අර්ථයෙන්ම එකග නොවන අතර, මුදිතා ධර්මසිරිගේ සම්භාව්‍ය ග්‍රීක මිථ්‍යාව හා ජනාශ්‍රැතිය අනුසාර කරගැනීමේ පදනම දැකීමේ වෑයමක නිරතවී සිටිමි. නමුත් ගැටලුව ඇත්තේ එතන නොවේ. යම්කිසි හේතුවක් මත පදනම්ව මුදිතා අනුසාර කරගන්නට යෙදුනු ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍යයේ එම මිථ්‍යා රූප හා සංරචකයන් එසේ යොදාගැනීමේ පරමාර්ථය කුමක්ද යන ප්‍රශ්නය වඩා වැදගත් වේ. එම යොදාගැනීම සංකල්පීය වශයෙන් ශක්තිමත් ද? එසේම, එම භාවිතය මෙම නිර්මාණ ක්‍රියාවලිය අභ්‍යන්තරයේ අවශ්‍ය වූ තාර්කික කෘත්‍යයක් මෙම නාට්‍යය තුලදී ඉටුකරයි ද? යන ප්‍රශ්ණාර්ථයන් අපට වඩා වැදගත් වේ.

මුදිතා ධර්මසිරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය අධ්‍යයන අංශයට සම්බන්ධ වී සිටීම හා එම අධ්‍යයනාංශය මෙම නිමැවුම හා කිට්ටු සම්බන්ධයක් ඇතැයි හැගවීමම ඉහත සදහන් කල සම්භාව්‍ය ග්‍රීක පඨිතයන් ලෝකාන්තර වේදිකාවට ගොඩබෑම සාධාරණීකරනය කරන්නේ නැත. මෙහිදී වැදගත් නිරීක්ෂනය වන්නේ, අපූර්වත්වයක් මවමින් ග්‍රීක සාහිත්‍යයේ එන විවිධ සාධක එකක් මත එකක් තට්ටු වශයෙන් වේදිකාව මත ගොඩගැසුන ද, ඒවා හා නාට්‍යයේ මූලික වස්තු බීජය අතර සම්බන්ධයක් අවශ්‍යයෙන්ම නොතිබීමයි. උදාහරනයක් ලෙස, තීක්ෂණා නැමැති මාධ්‍යවේදිනියක් “මතුලොවට” පැමිණීම විවාදයට ගත හැක. ඇය “මලවුන්ගේ ලොවේ” ඡායාරූප ගනිමින් ටැන්ටලස් හා හේඩීස් ආදීන් හමුවෙමින් අප ඉදිරියේ මවන්නේ ග්‍රීක සම්භාව්‍යයේ එන “ප්‍රාණියෙකු මලවුන් අතරට යෑම” හෙවත් “කැටබාසිස්” නම් සංසිද්ධියයි. මෙම “කැටබාසිස්” සංසිද්ධිය නිරූපනය කිරීමටම නොවුනා නම් තීක්ෂණා කෙනෙක් මෙම නාට්‍ය පිටපතට අනදාල, කපාදැමිය හැකි භූමිකාවක් වන්නේය. මන්ද යත්, ඇගෙන් නාට්‍යයේ ආඛ්‍යානයට වෙන යම් දැනෙන කෘත්‍යයක් ඉටු නොවන නිසාය. තීක්ෂණා ගේ “කැටබාසිස්” සංක්‍රමනයේ ආකෘතිමය ගැටලුවක් ද ඇත. නාට්‍යය ආරම්භයේ පමණට වඩා වැඩි කාලයක්ද ගෙන චෙරෝන් ඔරුකාරයාගේ (පමණට වඩා හෙමින් පදවමින් ආ) ඔරුවෙන් එගොඩ වන තීක්ෂණා “උද්ඝෝෂනයක් වාර්තා කිරීමට” ආ බව කියයි. නමුත්, මිථ්‍යාවාදයට අනුව ප්‍රාණින් අතර ජීවත්වන කෙනෙකු හට මෙවැනි සංක්‍රමනයක් කල නොහැකි වේ. එවැන්නක් කිරීමට නම් විශේෂ දේව වරමක් හෝ රැකවරණයක් අවශ්‍ය වේ. මේ දෙකම තිබුනත්, තමා ඊට “තෝරාගත් අයෙක්” වීම අනිවාර්යය. හර්කියුලිස්, ඕර්ෆියස් වැනි ග්‍රීක නිරූපනයන්ගේ ද ඉනියාස් වැනි රෝම සාහිත්‍යයේ මහා චරිතවල “කැටබාසිස්” සංක්‍රමනයේ ද මෙම අවස්ථා සැපිරෙනු දැකිය හැක. “කැටබාසිස්” සංසිද්ධිය හෑල්ලුවකට ලක් කිරීමක් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍ය අවධියේ සිටි ඇරිස්ටෆනීස් ගේ හාස්‍ය නාට්‍යවල අවස්ථා කීපයකම දැක්වේ. නමුත් මුදිතා ධර්මසිරි මෙතෙක් අප සදහන් කල තීක්ෂණාගේ “මතුලොවට පැමිණීම” ඉතා සීරියස් පිට ගෙනහැර දක්වන නිරූපනයක් බව පෙනේ.

නාට්‍යයේ විකාශනය සිද්ධියෙන් සිද්ධියට ගලා ගියත් ඒවා අතර සම්බන්ධයේ යම් ලිහිල් බවක් දක්නට තිබුණි. මහා උද්ඝෝෂනයක් ගැන නැවත නැවත කියවුනද ක්‍රියාවෙන්, චලනයෙන් හෝ දෙබස් වලින් එම උද්ඝෝෂනය ප්‍රේක්ෂකයින් අතරට ප්‍රක්ෂේපනය වූයේ නැති තරම්ය. (අප හට දැනුනු පරිදි) ඒ උද්ඝෝෂනය කන වැකී පීඩාවට පත් වී සිටි හේඩීස් මැවූයේ නරලොව අධිපතියාට වඩා ඩඩ්ලි සේනානායක පැත්තට බර රූපයක්ය. සියුස්ට මැදිහත් විය යුතු වූ තරමට ප්‍රබල වුන එම නිදහස ඉල්ලා වූ වුනු අරගලය වඩා කම්පනකාරී විය හැකිව තිබුනු බව මට හැගුනි.

මුදිතා ධර්මසිරි අන්තර්-පඨිත අවස්ථා කීපයක්ම ඇගේ වේදිකාව මත දිගහැර දක්වයි. මලගිය සීසර්, ක්ලියෝපැට්‍රා හා ප්ලේටෝ අතර වන ඡන්ද කැම්පේන් එකේ විවාදය අපට නිතැතින්ම මතක් කලේ ඇරිස්ටෆනීස්ගේ ෆ්‍රොග්ස් නාට්‍යයේ ඒ හා අනුරූප වන යුරිපිඩීස්-ඊස්කිලස් විවාදයයි. ස්ටිකොමිතියා සංකල්පය සිංහලයට නැගීමක් යැයි අනුමාන කල හැකි තියුනු දෙබස් පෙලකින් මෙම කොටස මනාව නිමවී තිබුනි. එමෙන්ම යුරිපිඩියානු නාට්‍යයේ ආභාෂය යැයි සිතිය හැකි සමස්ථ ආවරණයක් නාට්‍යය පුරාවට දැකිය හැකි විය. නාට්‍යයට කවා තිබුනු සුඛ-ඛේදාන්ත වේශය මෙහි එක් පැතිකඩක් වන නමුත් ඉහත ගතිකය වඩා තදින්ම දැනෙන්නේ අනපේක්ශිත (මෙන්ම තරමක් අභව්‍ය යැයි ද කෙනෙකුට තර්ක කල හැකි) අවසාන ඡේදයෙනි. එනම් චෙරොන් ඔරුකාරයා බලය අතට ගැනීම තුලිනි. නාට්‍යය පුරාවට එන සිද්ධි දාමයෙන් නිශ්චය කල නොහැකි, නාට්‍යය විසින් එතෙක් දිගහැරි තාර්කික පදනමට පිටින් ගිය එම අවසන් බල හුවමාරුව සම්භාව්‍ය යුරිපිඩියානු පීලි පැනීමක් කාවදින අයුරින් සිහිගන්වයි.

සුභා හා ලෝකාන්තර නාට්‍ය ප්‍රචාරනයේදී සරච්චන්ද්‍ර නාට්‍යකරුවාගේ සියවන උපන්දිනය පලිහ කරගනිමින් එම පබ්ලිසිටි යාන්ත්‍රණය ක්‍රියාවට නගා තිබීම නොපිරිසිදු ක්‍රියාවක් ලෙස මට සිතුනි. එක් අතකින් බැලුවොත්, එසේ පලිහක් අත දරාගෙන වේදිකාගත වීම නාට්‍ය රචකයින්ගේ සද්භාවය වුවද ප්‍රශ්ණ කිරීමකට යොමු කිරීමක් විය හැක. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර අනුස්මරණයට යැයි කියා “ස”යන්න වත් ගෑවී නැති නාට්‍ය දෙකක් පෙන්නීම සරච්චන්ද්‍ර අනුස්මරණය රමණයක් කරගත් අවස්ථාවක් ලෙසට වුව තර්ක කරුණු දැක්විය හැක. ඇල්ෆ්‍රඩ් හිච්කොක් අනුස්මරණය කිරීම අරභයා යැයි කියමින් රචකයින් දෙදෙනෙක් තම ස්වතන්ත්‍ර නිර්මාණ දෙකක් තිරගත කලේ යැයි සිතන්න. මෙම අවස්ථාවේත්, ඉහත සාකච්ඡා කල ඊනියා සරච්චන්ද්‍ර අනුස්මරණයේත් වෙනසක් නැත.

“පේරාදෙණියෙන් නාට්‍ය දෙකක්” යැයි සදහන් පෝස්ටරයද තරමක් සද්භාවයෙන් තොර බවක් හගවන යෙදුමකි. නාට්‍යකරුවන් දෙදෙනා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ බව සැබෑවකි. නමුත් මෙම නිර්මාණ තුලින් අප හමුවීමට බලාපොරොත්තු වන්නේ නිර්මාණකරණයන් සහ නිර්මාණකරුවන්මය. එය එසේ තිබෙන්නට හැරියත්, කංචුකා හා මුදිතා ධර්මසිරි යනු විශ්ව විද්‍යාලය යන සමස්ත අවකාශය ද නොවන්නා වන ආභාසය මතුවේ. එසේම මෙම නාට්‍ය දෙක නාට්‍යවේදීන් දෙදෙනාගේද සෙසු කණ්ඩායමකද එක්සත් ව්‍යායාමයක් වන නමුත් එය විශ්ව විද්‍යාලය යන සමස්තයේ නිර්මාණයක් ද නොවේ. ඒ කෙසේද යත්, ලංකාවට එන චීන ජනාධිපතිට සුභ පතා “ශ්‍රීලාංකික ජනතාව” දමන ආණ්ඩුවේ පෝස්ටර් එක “ශ්‍රීලාංකික ජනතාව” නියෝජනය නොකරන පරිද්දෙනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s