අමරකීර්ති හා සම්මානනීය අමතර කීර්තිය අතර

4664989පශ්චාත්-ස්වර්ණපුස්තක යුගය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ තීරණ තීන්දු ගැන විවේචනයකිනි. බෙන්තමියානු සූත්‍රයකින් නිති කරකැවෙන පුස්තක ප්‍රකාශකයින්ගේ කම්හල් තම ලාභ මට්ටම් වල ඉහල පහල යන බවෙහි සාධකයක් ලෙසද මෙම ස්වර්ණාලේපන ක්‍රියාවලිය මෑතක සිට යොදාගන්නා බව අපි අත්දැක ඇත. උදාහරණයක් ලෙස 2013 වසරේ පැවති ස්වර්ණපුස්තක සම්මාන ප්‍රදානය අවසන් වූයේ “කියවිය යුතු පොත්” මොනවාද යැයි කෘත්‍රීම කතිකාවක් ද මෙම බෙන්තමියානු කම්හලේ ම පහත මහලයකදී නිර්වචනය වෙමිනි. බොහෝ “පහන් නොවූ සිත් ඇති” සාමාන්‍ය පෙලේ අවිචාරශීලී මනසැති ලුම්පනුවන් එම නිර්වචන හා නිර්දේශ අතර සැරිසරමින් 2013 වසර අපර භාගය ගෙවා දැමූ හැටි අපි දුටිමු. කියවීම මනුෂ්‍යයා සම්පූර්ණ කරන්නේ කෙසේ ද, ස්වර්ණපුස්තක අවසන් පොත් දහය තම කියවීම් ලැයිස්තුව පරිපූර්න කරන්නේ ය වැනි භවයක් ව්‍යාජව නිර්මාණය කොට ව්‍යාප්ත කිරීමක් ද යටකී කම්හල් හිමියන් කර ඇත.

ලියනගේ අමරකීර්ති ගේ “කුරුලු හදවත” පොත ස්වර්ණපුස්තක අවසන් පොත් පහ අතරින් විශිෂ්ටතම කෘතිය බවට පත්වීමේ පුවත මා පිලිගන්නේ මිශ්‍ර හැගීමෙනි. අමරකීර්ති සාහිත්‍යධරයෙක් සහ එතැනින් වියත් වූ නිර්මාණශීලී මෙන්ම ගවේෂනශීලීභාවයක්ද එකට මුසුවුනු නිර්මාණකරුවෙකු ලෙස මගේ අවදානයට පාත්‍ර වූවෙකි. එමෙන්ම වෘකයින්ගේ දෙනුවරක් වන සාහිත්‍ය ධාරාව මෙන්ම ඇකඩමිය ද යන අවකාශ දෙකෙහිම පුරුකක් වූ (සාපේක්ෂව) “හොද හිතක්” ඇති “අ-වංක” මිනිසෙක් ලෙසද අමරකීර්තිව හදුනාගත්තෙමි. එමෙන්ම ඔහු දක්ෂව හා නිර්ව්‍යාජව තම කාර්යයේ යෙදෙන ගුරුවරයෙකි. අනිත් අතින් ගතහොත්, අමරකීර්ති දැඩි කැපවීමකින් සහ තම ගවේෂනශීලිත්වය තුලින්ම ලැබූ පන්නරයෙන් අද ද්වී-භාශික විද්වතෙක් ලෙස ඇකඩමිය තුල ප්‍රබල භූමිකාවක් නිරූපනය කරමින් සිටී. ප්‍රගතිශීලී නිර්මාණ කතිකාවත් හා දේශපාලන අවකාශයන් කීපයකද සැරිසරන අමරකීර්ති, 2012 පමණ සිට විශ්ව විද්‍යාල ආචාර්ය අරගලයේ ද අව්‍යාජ පෞරුෂයකින් හැසිරෙනු අපි දුටුවෙමු. ෆූටාවේ දේශපාලනය කෙසේ වෙතත් ෆූටාව තුලින් සහ එහි සක බමර මෙන් හැසිරිමෙන් තම “ජනප්‍රියතාවයේ විනාඩි පහලොව” ගෙවාගන්න දැගලූ ඇතැම් “කලාබර ඇදුරන්” අතර අමරකීර්ති වඩා සද්භාවයෙන් ක්‍රියාකල ක්‍රියාධරයෙක් බව මගේ විශ්වාසයයි.

Kurulu-Hadawata-by-Liyanage-Amarakeerthiමුලින් සදහන් කල ස්වර්ණපුස්තක අවසන් පොත් පහෙන් මා කියවා ඇත්තේ (“කුරුලු හදවත” ද ඇතුලුව) පොත් තුනක් පමණි. කියවූ අනිත් ලේඛකයින් දෙදෙනා වන්නේ නිශ්ශංක විජේමාන්න සහ මංජුල වෙඩිවර්ධනයි. මේ අතරින් වඩාත්ම අභියෝගාත්මක වූද නැවුම් වූද කෘතිය ලෙස මා ධාරනය කරගත්තේ වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” පොතයි. මෙම ලියමනෙන් ඉහත කෘතීන් සංසන්දනයකට මා යාමට බලාපොරොත්තු නොවන නමුත්, වෙඩිවර්ධනගේ පර්යේෂනාත්මක හා අභියෝගාත්මක මුසුව මතුකිරීම අවශ්‍යයම වේ. පවතින සාහිත්‍ය රාමුවක සීමා මායිම් ව්‍යුහාත්මක හෝ වෙනත් යම් නිර්මාණයේ ම අවස්ථාවකින් පුලුල් කිරීමේ කාර්යයක නිරතවීම මම නිර්මාණකරුවෙකුගෙන් නිරතුරුවම බලාපොරොත්තු වෙමි. වෙඩිවර්ධනගේ කෘතිය කියවා යම් සතුටුදායක අන්තර්ග්‍රහනයක් ලබාගැනීම‍ට මම මාස කීපයක්ම වෙහෙසුනෙමි. මම ස්වභාවයෙන් ඉතා මද වේගයෙන් කියවන්නෙක් වන අතර, වෙඩිවර්ධනගේ කෘතිය ප්‍රබෝධජනක ලෙස මා වෙහෙසකරවීය. අනෙක් අතට “බත්තලංගුණ්ඩුව” කෘතියේ මා දුටු පර්යේෂන-නිර්මාණ පථය‍ට වෙනස්ම වූ ධාරාවක වෙඩිවර්ධන ගමන් කිරීම ද “මගේ ආදරණීය යක්ෂණී” කෘතියේ අපි දැක්කෙමු. මේ අතින් වෙඩිවර්ධනගේ සාහිත්‍යයේ “ඉදිරියට”යෑමේ ප්‍රවනතාවයක් (පර්යේෂනාත්මකබව අතින්) “යක්ෂණී” තුලින් ගම්‍ය වේ යැයි අයෙකු මතු කරනු ඇත.

අමරකීර්තිගේ කෘති අතරින් මගේ අවධානයට වඩාත්ම භාජනය වන්නේ “අටවක පුත්තු” (2008) සහ “අර මිහිරි සීනු නාදය” (2012) යි. “අටවක පුත්තු” අප (සාපේක්ෂව) අධ්‍යයනය කලහොත් අනාගතයට වැඩදායී – වැඩක් කලහැකි – තරුණ ලේඛකයෙකුගේ ආගමනය මොනවට එහි සලකුනු කරයි. 2008දී පලකෙරුන ද “අටවක පුත්තු”හි මුල් පිටපත 1996දී පමණ සම්පූර්ණ කෙරුනු බවට සදහනක් පොතේ කෙලවරක ඇත. ව්‍යුහාත්මක කරුනු ගැන අපට වාදයක් පවත්වාගත හැකි වුවත්, අමරකීර්ති ගේ “ඉංග්‍රීසි හසුරුවන මධ්‍ය පාන්තික සෙනෙහස” ගැන විචාරයකට යා හැකි වුවත්, දේශපාලන ගැඹුරකින් හා සංවේදිතාවකින් යුතුව වියවුනු කෘතියක් ලෙස “අටවක පුත්තු” ගැන විවාදයක් පැවතිය නොහැක. අමරකීර්තිගේ මෙම කෘතිය යුගයක හෘද ස්පන්දනය පරිපූර්ණව ග්‍රහණය කරගැනීමේ අව්‍යාජ වෑයමක යෙදෙයි. එය ඒ ආකාරයෙන් කෙරුන ද, නැති ද, ඉතා අවංක සහ හෘදයාංගම වියමනක් සේ “අටවක පුත්තු” අප රදවාගනී. තවත් මට්ටමකදී, “අටවක පුත්තු” සාහිත්‍යමය පර්යේෂනයකි. ආඛ්‍යානය, කතා කීමේ සංරචක, නව්‍යවාදී සාහිත්‍යයේ ආභාෂයන් අවශෝෂනයෙන් නිමවාගත් සියුම් ක්‍රමෝපායන් ආදිය අන්තර්-වියවෙන නාලයක් ලෙසද අපට “අටවක පුත්තු” හා සම්බන්ධ විය හැක.

කෘත්‍රීම අවකාශ තැනීම

කෘත්‍රීම අවකාශ තැනීම

“කුරුලු හදවත”, මගේ මිම්මෙන් ගතහොත්, “ජනප්‍රිය ධාරාව” වෙත සවිඥානික බරක් තබා ලියා ඇති කෘතියකි. අලෙවිකරණය හා නව ලිබරල් ධනවාදයේ හා එහි තාක්ෂනවාදී දිගුවෙහි විවේචනයක් ලෙස කතාව දිගහැරුන ද, එම විවේචනය එක් අවස්ථාවකින් පසුව ප්‍රතිගාමී සහ කඩාහැලෙන ස්වරූපයක් ගනී. නව ලිබරල් ක්‍රමයේ ව්‍යාජත්වය හගවන්න ගන්නා උත්සාහයේදී එම ක්‍රමයම සාක්ෂාත් කෙරේ. ඊටත් වඩා, පවතින ක්‍රමය ගැන මැදිහත්වීමක් සිදුනොවන අතර කෙරෙන “මැදට ඒම” සිදුවන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මැදපන්තික සංඥා සමුදායක්, හැගවීම් හා ස්වරූප ශ්‍රේණීන් ආශ්‍රයෙනි. ඉතා කෙටියෙන් කිවහොත්, මධ්‍ය පාන්තික විඥානයක් කේන්ද්‍ර කොටගෙන එය වටාම කැරකැවෙන ඇගයුමක් “කුරුලු හදවත” හා බැදී පවතී. දිනසිරි කුරුලුගංගොඩගේ ජීවිතය හා මරණය අවසන දමයන්ත දිසානායකගේ ඉරණම විසින් හෝ අනීෂාගේ මරණය විසින් හෝ ඇතිකරන කම්පනය හෝ දෙදරීම හෝ ඇති නොවේ. මීට හේතුව, දිනසිරි යනු මධ්‍ය පාන්තික විඥානයේ ආතතීන් සමූහයක් ප්‍රක්ෂේපනය කිරීමට යොදාගත් මාධ්‍යයක් පමණටම දිනසිරිගේ පථය ලඝු වීමය. අවසන දිනසිරිගේ ජීවිතයටත් වඩා ඔහුගේ මරණය අලස හා බහුභූත ලෙස සිදු වන්නේය.

දිනසිරි කුරුලුගංගොඩ මියයන්නේ ඔහුගේ විවාහ උත්සවයේ වීඩියෝ පටයට දර්ශන තලයක් සොයමින් සිටින අතර ඔරුවකින් පිටට පෙරලීමෙනි. ඔහු “නොදන්නා විලක” ගිලී මියයයි. ස්වර්ණපුස්තකවාදී සම්මාන අතර අමරකීර්තී ගිලී මියනොයනු ඇතැයි ප්‍රගතිශීලී සාහිත්‍ය විභවයක් ඇති සැම වෙනුවෙන් ප්‍රාර්ථනය කර සිටීමේ වරදක් මම නොදකිමි. මන්ද යත්, මඩගොහොරුවක ගිලිනු, ලෙජර්වලින් පාලනය වන සාහිත්‍ය මහෝත්සවයක අග්‍ර ඵලය දෑතින් බදාගැනීමට එහා ගිය ප්‍රතිභාවක් අමරකීර්ති තුල මා දකින හෙයිනි. දෙන සම්මානය භාර නොගැනීම‍ට කරන ඇරයුමකට වඩා මෙය තම සාහිත්‍ය කාර්යයේ තමා දැනට සිටින ලකෂ්‍යය ගැන විචාරශීලී ව සහ පිබිදුනු සිතින් මෙනෙහි කරන්නට කෙරෙන මතක් කිරීමකි. මෙවන් කිලිටි වුනු අග්‍රඵල කා චුත වූවන් අතර ඊව් පමණක්ම නොසිටීම ද අපගේ මනස ට වද දෙන කරුණකි.

දිනසිරි ගේ “ධාරාගත වීම” සහ අමරකීර්තිගේ “ප්‍රවාහය විසින් හික්මවීම” අතර — පශ්චාත්-ස්වර්ණපුස්තක අර්ථයෙන් — පවතින සංඥාමය සමානතාවය ඉවතලිහ නොහැක. මීට මාස කීපයකටම ප්‍රථම අමරකීර්තිට විද්‍යෝදය සාහිත්‍ය සම්මානයක් ද පිරිනැමුනු අතර ඒ පිලිබදව සටහනක් හෝ මම මෙහි නොතබමි. මෙතනින් එහාට පවතින මාර්ගය තක්සේරු කරනු ඇත්තේ අමරකීර්ති විසින්මය. “අටවක පුත්තු” හි එන කොටසක් මෙහිදී මගේ සිතට එයි. දමයන්තට දිල්කි (හෝ අනීශා හෝ) දුන් පොතක රොබර්ට් ෆ්‍රොස්ට් කවියාගේ “ද රෝඩ් නොට් ටේකන්” කවිය ඇතුලත් වෙයි. මෙම කවිය, එක් මට්ටමකදී, ධාරාව හා විකල්පය ගැන මෙන්ම අයෙකු සතු රැඩිකල් විභවයද ගැන වන හැගවුමකි. “කුරුලු හදවත” අප දකින්නේ ද රෝඩ් නොට් ටේකන් හි ගමන් කරමින් සිටි ලියනගේ අමරකීර්ති අතරමග හුවමාරුවකදී “වඩා බහුලව භාවිත වූ” පථයකට තල්ලු වීමක් ලෙසටය. මාර්ගය ලිස්සන සුලු බවට සංඥාවක් නැතත් ඊලග හැරවුම ඉතා තීරණාත්මක බවට ඉගියක් සම්මාන-පූජක පැලැන්තිය අපට ඉගි කර සිටියි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s