වරදෙහි පූර්ව-විනිශ්චය අවස්ථාව: සාක්ෂි ගොනු කිරීම සහ නිවැරදිකරු සෙවීමේ පහසු ක්‍රම.

නිලධාරිවාදය සහ රාජ්‍ය අනුදැනුම යටතේ සිදුවන ප්‍රචන්ඩත්වය උතුරු-දකුණු, බස්නාහිර-සබරගමු භේදයකින් තොරව, ඉතාම සරල හෝ අවිධිමත් හෝ නාට්‍ය පිටපත් වලට මුවා වී, අහංකාර ලෙස හා ම්ලේච්ඡ ලෙස අප ඉදිරියේ “පුවත්” මවමින් සිටී. රාජ්‍ය ප්‍රචන්ඩත්වය දෛනික ජීවිතයේ අංගයක් ලෙසට ඒත්තු ගන්වා, ස‍ංවේදන හා ශ්‍රවන ඉන්ද්‍රීය අකර්මණ්‍ය කර, පවතින නීති-රීති රාමූන් ඇස් පනා පිටම පාලක ස්ථරයේ (සහ එහි ගැති උප-ස්ථරයේ) පැවැත්ම හා ස්ථාවරත්වය වෙනුවෙන් ම ඉතා බිහිසුනු ලෙස අංග ඡේදනය කරන අඩවියක අපි හසුවී සිටිමු.

එවන් පසුබිමක, සබරගමු විශ්ව විද්‍යාලයේ පලමු වසර ඉගෙනුම ලබන මුහමාලෙයි සිට පැමිණි ශිෂ්‍යයෙක් තමාටම ගසාගෙන ඔලුවත් පලාගෙන අත් පා ද බැදගෙන ඇති බවට පොලිසිය මාධ්‍ය වෙත කරුණු අනාවරනය කර ඇත. ඒ තමාට “ගෙද‍ර ගොස්” යාපන විශ්ව විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගැනීම‍‍ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්නට බව මේ සිසුවාගේ “පාපෝච්ඡාරනය” තුලින් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් “අනාවරණය කරගෙන” ඇත. වාර්තාවන අන්දමට ජාතීන් අතර “අන්‍යෝන්‍ය සංහිදියාවට බාධාවක්” වන යටකී හැසිරීම මත එම ශිෂ්‍යයා තවදුරටත් ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ තබා ගැනෙන වටපිටාවක්ද නිර්මාණය කෙරිනි. මෙම සබරගමු සිද්ධිය හා සමාන්තරව තෙවන වසර තවත් ශිෂ්‍යයෙකුගේ අත්අඩංගුවට ගැනීමක් ද සිදුවන අතර, මේ සමස්ත ක්‍රියාදාමය හරහා අපි අත්දකින්නේ ඉතාම බිහිසුනු ලෙස විශ්ව විද්‍යාල තුලට අද රාජ්‍ය මර්ධනය සහ එහි ඇම්බැට්ට ස්වරූපයන් පැමිණ පැල පදියම් වී ඇති ආකාරයයි.

සබරගමු ශිෂ්‍යයාගේ සිද්ධිය අපට බලකර සිටින්නේ ඉතාම ප්‍රබුද්ධ සිතින් කරුනු කාරනා මෙනෙහි කරන ලෙසයි. ඉතාම නිර්ලජ්ජී ලෙස බලය අහංකාර ලෙස යොදා ගනිමින් කෙරෙන බොහෝ පැහැරගැනීම්, රදවාගැනීම් හරහා පාපිෂ්ඨ ලෙස උච්ඡාරනය කෙරෙනා “පාපොච්ඡාරනයන්” හා මෙකී ශිෂ්‍යයා කරායැයි කියන “පාපෝච්ඡාරනයේ” මතුපිට සමාන කම් බොහෝය. මූලික වශයෙන්, පහරදීම සිදුවන අවස්ථාවේ මතුවන තත්වයට පරස්පර වන විදිහේ කරුනු “පාපෝච්ඡාරනයේ” දී මතුවීම දැක්විය හැක. පහරදීමකට ලක්වුනායැයි කියන්නා “පාපෝච්ඡාරනයේ” දී මතුවන කරුනු මත තමා විසින් තමාටම තුවාල සිදුකර ගත්තෙකි. තවද, තමා තමාටම අතවර කරගැනීමට යොදාගත් පොලු, අත් පා බැදි වයර් කෑලි ආදියද කිසිදු සැකයකින් හෝ වැඩිදුර පරීක්ෂණවලින් තොරව සනාථ වේ. කරුනු කාරනා ඉතාමත් ලෙහෙසියෙන් සහ පහසුවෙන් “සනාථ” වන විට “අත්අඩංගුවට” ගැනීමේ ක්‍රමවේද හෝ ක්‍රියා පිලිවෙත් ගැන කිසිදු කරුනු ගැනීමක් කෙරෙන්නේ නැත. දැන් අත්අඩංගුවට ගෙන ඇති “පුනරුත්තාපිත” තෙවන වසර නිරෝජන් සිසුවා “ත්‍රස්ත ක්‍රියා” වලට සම්බන්ධ විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බවද සමාජගත කොට ඇත.

මෙහි සදහන් ශිෂ්‍ය මර්ධනය කේන්ද්‍ර කරගත් සබරගමු වි.වි සිසු උද්ඝෝෂණ අවස්ථාවක්.

මෙහි සදහන් ශිෂ්‍ය මර්ධනය කේන්ද්‍ර කරගත් සබරගමු වි.වි සිසු උද්ඝෝෂණ අවස්ථාවක්.

2012 දී විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචිත “ටයිගර්ස් ඩෝන්ට් කන්ෆෙස්” නවකතාවේ එක් ධාරාවක් වෙන්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ලංකා පොලිසියේ “ත්‍රස්ත විමර්ශන කණ්ඩායම” (Terrorist Investigation Team) විසින් අත්අඩංගුවට ගනු ලබන ශිෂ්‍යයෙකුගේ වෘතාන්තය විමසීමටය. ඉතාමත් “ප්‍රබල” සාක්ෂි මත, පාපෝච්ඡාරන ද සහිතව කියවෙන්නේ අත්අඩංගුවට ගත් තරුණයා විමුක්ති කොටි සාමාජිකයෙක් බවයි. ලංකාවේ පොලිසියේ මුග්ධභාවයේ සහ එහි අහංකාරී උද්දච්ඡකමේ — විශේෂයෙන්ම “සාක්ෂි” සැකසීම හා පවතින නෛතික ව්‍යුහයේ හිල් අතරින් තමන්ගේ වාසියට “සාක්ෂි” රිංගවීම ‍සහ ඒවා හැසිරවීම ගැන — පරාවර්තනයක් ලෙස චන්ද්‍රසේකරම්ගේ වියමන ප්‍රබල භූමිකාවක් නිරූපනය කරයි. කතාව දිගහැරීමේ දී “ත්‍රස්ත විමර්ශන කණ්ඩායම” විසින් අධිකරනය ඉදිරියේ ගෙනහැර දක්වන සාක්ෂිවල වංචනිකභාවය මෙන්ම, එම සාක්ෂි “සැකසීමේ” ක්‍රියාවලිය පසුපස තිබෙන දූෂිත, අධිකාරීමය බලපුලුවන්කාරකම පිලිබදවද සටහනක් තැබේ. කෙටියෙන් කිවහොත්, තම “දේශපාලන න්‍යාය පත්‍රය‍ට” ගැලපෙන “ත්‍රස්තවාදියෙකු” බිහිකරගැනීම සදහා “ත්‍රස්ත විමර්ශන කණ්ඩායම” තම ක්ෂේත්‍රයෙන් ලද විශේෂ ප්‍රාගුන්‍ය‍ය නීතිරාමුවක් තුල ඉහලින්ම මෙහෙය වන ආකාරය චන්ද්‍රසේකරම් ගෙනහැර දක්වයි.

humanrights.asia හි ලංකාව සම්බන්ධයෙන් පලවූ ප්‍රකාශන‍යක්

humanrights.asia හි ලංකාව සම්බන්ධයෙන් පලවූ ප්‍රකාශන‍යක්

1993-94 කාලය පදනම් කරගෙන ගෙතෙන චන්ද්‍රසේකරම්ගේ වියමනෙහි සහ අප අද අත්දකින “කුඩු ජාවාරම් කරුවන්” මහමගදී “විශේෂ බලකා ප්‍රහාරවලට” ලක්වී අවනීතියෙන් මියයාම, ඇතැම් චීවරධාරීන් තමා විසින්ම තමාට හානි කරගැනීම හා සබරගමු සරසවි සිසුන් “තමාටම පහර දී ගැනීම” අතර ප්‍රකම්පනයන් දැකීමට විශේෂ යන්ත්‍ර සූත්‍ර අවශ්‍යම නොවේ. මේ බොහෝ සිදුවීම් “පරීක්ෂන මට්ටමේ” තිබෙන හෙයින් අප නොදන්න පරීක්ෂන ප්‍රතිඵල පුරෝකථනය කිරීමද සිදුනොකල යුතු නමුත්, මෙහි අප නොදන්නම පරීක්ෂන-නිගමන ගතිකයක් ද නොමැත්තේමය. මෙම ලියමන ලියවෙන්නේද එම නිසාම විය හැක. සගවා ඇති අවි පෙන්වීමට ගොස් මිය යන “සැකකරුවන්” (චන්ද්‍රසේකරම්ගේ වියමනෙහි එන තරුණයා ද, සබරගමු සිසුන් ද “සැකකරුවන්”ම පමණි) පිලිබද අපට ඇත්තේ කෙබදු ඉතිහාසයක් ද? 1988-89 වකවානුවේ සිදුවන අසං‍ඛේය මනුෂ්‍ය ඝාතනවලින් පමණක් පටන් ගතහොත් රාජ්‍ය අනුග්‍රහය ලද “සැකකරුවන්” (හා එසේ නොවනවුන් ද) වාෂ්ප කරවීමේ ව්‍යාපාරයට අද වසර විසිපහකට අධික ඉතිහාසයකි. 1989 තීරණා‍ත්මක ලක්ෂ්‍යයකදී එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ද “අවි පෙන්වන” සන්දර්භයකදී අවනීතිමය ඝාතනයකට ලක්කෙරිනි. “දේශපාලන විරුද්ධාභාසයන්” නැසීමේ ක්‍රමවේදයක් ලෙස “නීතිය කැලඹුනු” වපසරියක කෙරෙන අවනීතිමය ඝාතන ඉතා ප්‍රබල තත්කාලීන සංසිද්ධියකි. “විජේවීර” වේවා, “කුඩුකාරයා” වේවා, “ත්‍රස්තවාදියා” වේවා, මෙහිදී “ධාරාව කෙලෙසූ” බවට ධාරාවේ “ආරක්ෂකයින්” ලෙස පෙනී සිටින රාජ්‍යය හෝ එහී කුලීකරුවන් විසින් හංවඩුකරණය කෙරුනු — නීතිය ඉදිරියට ගෙනාවද, නොගෙනාවද එහි වෙනසක් නැති බවට ජරාජීර්න කෙරුනු — “රාජ්‍යයේ විරුද්ධවාදීන් (එබැවින් ම රටේ ද, ඔබේද, මගේ ද, සැමගේද විරුද්ධවාදීන්)” මර්ධනය පිලිලයක් ඉවත්කෙරෙන ව්‍යායාමයක් දක්වා සාමාන්‍යකරනය කර දක්වා ඇත.      

670642014.08.13 “සිලෝන් ටු‍ඩේ” පුවත්පතද එහි සහෝදර “මව්බිම” පත්තරේද “කුඩු රජෙක්” යැයි අනාවරනය කරගත් මිනිසෙක් ගේ නිශ්චල හා චංචල දේපල ගැන විස්තර ද, ඔහුගේ වතු පිටි ගැන තොරතුරු ද හෙඩ්ලයින්ස් ලෙස දෙන්නේ ඒ මිනිසා “අවනීතියෙන්” උපයා ගත් ධනයෙහි දිග-පළල ගැන ඡායාරූප ද සමගිනි. මෙවැනි “හෙලිකිරීම්” තුලින් තම හිරි ඔතප් බිදෙයි යැයි සිතා එසේ නොකරන ඇතැම් දේශපාලක, ව්‍යාපාරික ඇතුලු ක්‍රමය තුල සිටිමින් එම ක්‍රමයම තම ප්‍රාන ඇපයට ගත් ඇතැම් අය ගේ කුජීත ජීවන රටාවන් ගැන බැල්මක් හෝ නොහෙලේ. මන්ද යත් “වරදකරුවන්” නිර්මාණය කිරීමේ ද කලාවක් සහ දේශපාලනයක් පවතින හෙයිනි. නීතියෙන් ප්‍රකාශ කෙරෙන තෙක් “සැකකරුවෙක්” “වරදකරුවෙක්” නොවන බව අපට පොඩි කාලේ සිට උගන්වා ඇති මුත් “වරදකරු ද”, “සැකකරුද” අවනීතිමය සැකසුමක්ම වන අවස්ථාවක — ක්‍රමයේ පැවැත්ම පිණිස ක්‍රමයේම අත්තනෝමතික විචල්‍යයන් දෙකක් වන විටක — අත්අඩංගුවට ගැනීම, සාක්ෂි ගැනීම, කටඋත්තර සටහන් කරගැනීම, නඩුවක් ඉදිරියට ගෙනයෑම (හෝ එය කල් යැවීම) ආදී කිසිදු අවස්ථාවක් “වාස්තවික” හෝ “සාධාරණ” ලෙස සැලකිය නොහැකි බව අද ඕනෑම ශිෂ්‍යත්ව පන්ති ලමයෙක් පවා දන්න දෙයකි. විශ්ව විද්‍යාල සිසුන් ප්‍රායෝගිකව අත්දක්නා දෙයකි.    

මෙහිදී නිතැතින් මතක් වන අවස්ථාවකි, ෆ්‍රාන්ස් කෆ්කාගේ “ද ට්‍රයල්” සහ “ද කාස්ට්ල්”. ඉතාමත් සංයමයෙන් කෆ්කා විමසන පොදු සමාජයීය තත්වය නම් පූර්ව-විනිශ්චයන් සමුදායකින් සැදි විශ්වයක් තුල (අපි එය‍ට සමාජය හෝ ක්‍රමය හෝ කියමු) පුද්ගල ඉරණම යනු කුමක්ද යන්නයි. ගැලවීමක් හෝ ඔටොනොමියක් හෝ කියා දෙයක් නැති, තමාට හැසිරවීමට හෝ තේරුම් ගැනීමට හෝ නොහැකි මහා ආඛ්‍යානයකින් හා භාවිතයකින් මිරිකී, බේරී එන ජීවිතයකි කෆ්කා නිරූපනය කරන්නට යෙදෙන්නේ. එම යාන්ත්‍රණය තුල අධිකාරී බල කේන්ද්‍රනයක් තිබෙන අතර එහි නීර්ණයන්ට යටත්ව “පුද්ගල දෛවය” තීරණය කෙරේ. එම තීරණයන්ගේ සාධාරණීනරණය “නීතිය” යන වදනෙන් අරුත් ගැන්වේ. කෆ්කාගේ විශ්වයේ දී නීතිය යනු බලයේ සාධාරණීකරණයක් පමණක් වන අතර එය ඉදිරියේ කිසිවෙකු “සමානයෙකු” හෝ “අසමානයෙකු” යන කාව්‍යමය වැකි අදාල වන්නේද නැත. එම නිසාම “වැරදිකරු” හා “නිවැරදිකරු” ද පූර්වයෙන් නිගමනය කෙරී ඇත. “වැරදිකරු ද නිවැරදිකරු ද” යැයි ඇසීම ද හාස්‍යජනක නාට්‍යමය අවස්ථාවක්ම පමණක් වනු ඇත. එය ද පූර්වයෙන් නිගමනය කෙරී ඇති නිසාය.

වාස් ගුණවර්ධන වැනි “බලයෙන් ක්ෂය කෙරුනු” අතීත “රාජ්‍ය විරුවන්” හට ඇතැම් විපරිත මාධ්‍ය කල සැලකීම තුලින් “නීතිය සහ අවනීතිය” ගැන ලංකාවේ පවතින විෂම ගතිකය මෙන්ම මාධ්‍ය භාවිතය තුල මෙම ගතිකය අවිචාරශීලීව අපයෝජනය වන අයුරු ද මැනවින් සාක්ෂාත් වේ. “සිලෝන් ටු‍ඩේ” ‍ට කුඩු රජාගේ වත්කම් ප්‍රශ්ණයක් වූ දා “ලංකාදීප” හා “අද” පත්තරවල හෙඩ්ලයින් එක වූයේ බියුටි පාර්ලර් එකකදී වැරදි එන්නතක් ශරීරගතවීමෙන් මිය ගිය “කාන්තා දොස්තරවරියක්” ගැන පුවතයි. මෙම සියලු පුවත්පත් වලට හසු නොවූ, දවසේ ද්විතීක පුවතක් වූයේ සබරගමු ශිෂ්‍යයා ත්‍රස්ත විමර්ශන අත්අඩංගුවේ තවදුරටත් රදවන බවට වූ පුවතයි.

ෆ්‍රාන්ස් කෆ්කා (මා දන්න තරමින්) ලංකාවේ කිසිම පාඨමාලාවක, විෂය මාලා කිසිවක ඉගැන්වෙන ලේඛකයෙක් නොවේ. ඇතැම් නීති සිසුන් පවා සිතන්නේ “නීතියේ කන්‍යාවියගේ” ඇස් අන්ධ වීම සමබරතාවය හෝ සමානාත්මතාවය ගැන කෙරෙන ඇගයුමක් ම බවයි.

Advertisements

One thought on “වරදෙහි පූර්ව-විනිශ්චය අවස්ථාව: සාක්ෂි ගොනු කිරීම සහ නිවැරදිකරු සෙවීමේ පහසු ක්‍රම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s