පඨිතයන් අතර අවකාශයක්: මංජුල වෙඩිවර්ධන ගේ “බත්තලංගුණ්ඩුව”, හෝමර් ගේ “ඔ‍ඩිසි” හා J.M කට්සෙයර් ගේ “ෆෝ”

මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කථා අවකාශය සැලකීමේදී නිතැතින්ම මනසට ආ පඨිතයන් දෙකකි, හෝමර්ගේ ඔඩිසී සහ ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ. දූපත් තුනක කේන්ද්‍ර තුනක් අරමුණු කොට තුන් ආකාරයකට වියෙන මෙම පඨිතයන් සමපාත වන හා එකිනෙක විනිවිද යන අවස්ථා ගණනාවක් දැකිය හැක. තම ලමාවියෙහිදිම තමාගෙන් වෙන්වුනු පියා සොයා ඉතාකාවලින් පිටත්වන තරුණ ටෙලිමාකස් ගේ ප්‍රතිබිම්භය තමාගේ ජීවිතයෙන් දුරස්ථ වී ලංකා දූපතේ ද දූපතක බත්තලංගුණ්ඩුවේ වෙසෙන බවට විශ්වාස කරන තම පියා වන ඇඩ්ඩින් මුදලාලි සොයා එන ඇන්ටනී මත පතිත වේ. ඇන්ටනී හට හමුවෙන දූපත, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නැමැති මනඃකල්පිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ද සමාජවාදී ද නොවන ජනරජ තීරුවක්ද නොවන පරිධියකි. කට්සෙයර්ගේ ෆෝ කතාවේ මිස්ටර් කෲසෝ තම දිවයිනට අදාල වන පරිදි එහි බිම්ගත සංස්කෘතියක් සිතියම්ගත කරන්නේ කෙසේ ද, ශිෂ්ටාචාරයේ කේන්ද්‍රයට විකල්ප වන, එම කේන්ද්‍රයේ පරිධියට කේන්ද්‍රගත වන සංස්කෘතියක හා සභ්‍යත්වයක මහා ආඛ්‍යානය අපට බත්තලංගුණ්ඩුවේ දී හමුවේ.

2_Baththalangunduwa_Sinhala_Novel_by_Manjula_Wediwardena_RJ_REහෝමර්ගේ ඔඩිසී කාව්‍යය සවිඥානිකව ඇසුරු කරගනිමින් 1922දී ජේම්ස් ජොයිස් විසින් ලියවුනු යුලිසිස් ද, ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ වෘතාන්තයට අන්තයක් වන ඩැනියෙල් ඩෙෆෝ ගේ රොබින්සන් කෲසෝ ග්‍රන්ථයද මෙහිදී සැලකිය යුතුය. ඔඩිසී හි ටෙලිමාකස් හා සමපාත වන ලෙස නිර්මිත යුලිසිස් හි ස්ටීවන් ඩෙඩලස් මෙන්ම කට්සෙයර්ගේ මිස්ටර් කෲසෝ හා එපරිද්දෙන්ම අනුපාත වන රොබින්සන් කෲසෝ ගේ ද අවතාර බත්තලංගුණ්ඩුවේ වැල්ලෙහි අප හමුවන්නේ ඇන්ටනී හා ඇඩ්ඩින් මුදලාලිගේ වේශයෙනි. ඇඩ්ඩින් මුදලාලි යනු සම්භාව්‍ය ඊඩිපල් පියාගේ මූර්තියකි. නමුත් මෙම පිය චරිතය හා ඈදුනු තවත් භූමිකා කිහිපයක් ඔහු අතින් ඉටුවේ. මුහුදට බිලිවූ “රස්සාකාරයෙකුගේ” තරුණ වැන්දඹුව වන ග්‍රේටා තම සහකාරිය කරගන්නා ඇඩ්ඩින් මුදලාලි “මුනිවරයෙක් ද”, “ආප්තය ද” “ආරක්ෂකයෙක් ද” වේ. සම්භාව්‍ය ඊඩිපල් පියාගේ භූමිකාව හා මනාව බැදෙන මෙම විචල්‍යයන් අතරින් කතාවේ “ඊලග කොටස” ගැන පේන කීමට ඔඩිසියෙන් නෙස්ටර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැත. මන්ද යත්, එය “විය යුතු පරිදි”ම, ඊඩිපල් පියාගේ මරණය හෙවත් ග්‍රේටා හා රමණයත්, ඒ හරහා ඇන්ටනී ගේ සංකේතාත්මක “ආගමනය”ත් (නා‍යකයෙකු ලෙස) තුලින් සාක්ෂාත් වන බැවිනි. ඇන්ටනී ක්‍රමයෙන් බත්තලංගුණ්ඩුවේ ප්‍රධාන භූමිකාව වනු අවස්ථා කීපයක් තුලින් පෙන්වා දී ඇත. ඔහුගේ ලිංගිකත්වය හා ශරීරය වෙනුවෙන් ග්‍රේටා හා අනා මරියා අතර ඇතිවන සියුම් ඝර්ෂනය මින් එක් අවස්ථාවකි. වෙඩිවර්ධන, ඇන්ටනීගේ ලිංගිකත්වය ඉතා ඕනෑකමින් මතුකර දක්වන්නෙකි. ග්‍රේටාගේ අයිතිය හා පැවැත්ම වෙනුවෙන් ද ඇගේ තාරුන්‍යයෙන් ඇතිකෙරෙන තෙරපුමෙන් ද බලකෙරෙන ලිංගික වරණයක් ලෙස ඇන්ටනී ඇය හා සම්බන්ද වේ. මෙම මුල් ලිංගික එක්වීම ග්‍රේටාගේ වැඩි උවමනාව මත වූ බවට — මෙහිදී රචකයා ඇන්ටනීගේ උවමනාව බේරාහැරීමක් කරයි — ඕනෙවට වඩා වැඩි කරුනු දැක්වීමක් කෙරෙයි. මීට සමාන්තරව ඇන්ටනී හා අනා මරියා අතර ඇතිවන සබදතාවයද වැදගත් වේ. අනා මරියාගේ (ඒ අර්ථයෙන්) දූපතට වන “අවජාතක බව” හා “අයත් නොවන බව” සජාත කරගැනීමක් හෙවත් ඇගේ අයිතිය හා පැවැත්ම සාක්ෂාත් කරගැනීමක් මේ හරහා සිදුවේ. මෙහි සංකේතාත්මක භාවිතය අප දකින්නේ අනා මරියාගේ අනියම් සේවා පත්වීම ස්ථීර කරදීමට ඇන්ටනී තම මිතුරෙකුට ලියන ලිපිය හරහාය.

“වල්වැදුනු” පියා සොයා යන ටෙලිමාකස්, පියා හමු වී ඔහුගේ ද සහ‍ය ඇතිව තමන්ට පිය උරුමයෙන් ලැබීමට නියමිත ඉතාකාවෙන් තම සතුරන් තුරන් කොට බලය ස්ථාපනය කරගනියි. “සැන් ඇන්තනීස් අයිස් වාඩිය” පිලිසකර කෙරෙනු ද, නව ජීවයකින් කරුණු කාරනා කෙරෙනු ද බත්තලංගුණ්ඩුවේ අවසන් අදියරෙහිදි දැක්වේ. ග්‍රේටා ගැබ්ගෙන ඇති බවට ඉගියක් සැපයෙන අතර, ඇන්ටනී න‍ව යුගයක නියමුවෙකු ලෙසටද සටහන් කොට ඇත. ස්වකීය පියා සුපුරුදු අයිස් පෙට්ටියක් මත ඉදන් සිටිද්දී වාඩිය දෙසට හැරෙන ඇන්ටනී ගේ ඇත්තේ රැලට අලුතෙන් පත්වූ ද, රැල තම කායික බලයෙන් දමනය කරගත්තාවූ ද නායකයෙකුගේ පෞරුෂයකි. ග්‍රේටාගේ ගැබ්ගැනීම එම නව යුගයේ මං සලකුනකි.

foe-j-m-coetzee-9782020476935ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ හි මිස්ටර් කෲසෝ තම දූපත දමා යාම සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. සූසන් (දූපතට “පාවී” එන අමුත්තිය සහ කතාවේ නායිකාව) ගේ කඩිසරබව සහ දූපතෙන් පිටව යෑමට ඇය කරන කියන දේ සියල්ල මිස්ටර් කෲසෝ නිශ්ප්‍රභා කරයි. මිස්ටර් කෲසෝ අසාධ්‍ය අවස්ථාවක ඔහුව දූපතෙන් පිටමං කරන්නේ ද සූසන්මය. දශකයකට අදික කාලයක් අනේක කම්කටලු මැද, තම වහල් සේවක ෆ්‍රයිඩේ සමග දූපතේ කුඩා අට්ටාලයක ජීවත් වූ මිස්ටර් කෲසෝ දූපතෙන් පිටකල කල්හි නොබෝ දිනකින් මියයයි. තම පියා සොයා එන ඇන්ටනීටද ඇත්තේ තම පියා දූපතෙන් පිටත් කරගෙන යෑමේ අවශ්‍යතාවයකි. නමුත්, “යථාර්තය” නැමැති කල්පිතයෙන් බැටකා බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එයටම අවශෝෂණය වී එහිම ‍ඓයින්ද්‍රීය කොටසක් බවට පත්වෙයි; බත්තලංගුණ්ඩුවේ මහා ආඛ්‍යානය කේන්ද්‍රගත කරයි.

Manjula Weidiwardena Book Review SPVබත්තලංගුණ්ඩුව යනු ලිංගිකත්වය මානුෂකරනය කෙරුනු අවකාශයකි. එහිදී, “ලිංගික එක්වීම” යන්න අවශ්‍යයෙන්ම නිර්ව්‍යාජ “මනුෂ්‍ය වීමේ හේතුවෙන්” පවතින ක්‍රියාවලියක එක් පථයක් ලෙස දක්වා ඇත. වෙඩිවර්ධනගේ මෙම නිරූපනය තුල — “යථාවාදී” දෘෂ්ටියකින් බලන්නේ නම් — ගැටලු රැසක ඌනපූර්ණය නිධාන වී ඇතත්, මෙම ලියමනෙහි එවැනි දැක්මක් අවශ්‍යයෙන්ම ස්ථානගත නොකෙරෙන හෙයින් ඒ පිලිබද ඇගයුමක් කෙරෙන්නේ නැත. නමුත්, නැවත අගනුවර බලා යෑමේ අරමුණකින්ම බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එහි රදවා ගැනීමට යත් දරන ග්‍රේටා හා ඔඩිසි හී සර්සී අතර කම්පනයක් සලකුනු කල යුතුය. එමෙන්ම, වෙඩිවර්ධන විසින් වියවෙන ඒ “පරමාදර්ශී නිර්ව්‍යාජ ලිංගිකත්වය” මෙන්ම එම ලිංගිකත්වයේ “භාෂාව” ද පරම මනුෂ්‍ය සහ-සම්බන්ධතාවයක හා එවැන්නක පමණක්ම කැඩපතක් ලෙස දක්වා ඇත. මෙය තරමින් ස්ථූල ලිලී නෝනාගේ සිට, රූමත් ආනා මරියා හා ඇන්ටනී දක්වා ම පොදු වූවකි. බත්තලංගුණ්ඩුවේ ගත කරන මුල් දින රාත්‍රියේම ඇන්ටනී ආන මරියාගේ වාඩිය වෙත ඇදෙන්නේ එය ස්වභාවිකවම “වියයුතු” දෙය නිසයි. ශිෂ්ටාචාරයේ කල්පිතය තුල “සිදුවිය යුතු” කෝලකම්, බෑ-එපා කීම් කිසිවක් සිදුනොවේ. රාත්‍රියේ සිදුවන්න දහවල සිදුවූ සියලු බැලුම්-ඇහුලුම් වල දිගුවක් පමණක්ම ලෙස ක්‍රියාවට නැගේ. ෆෝහි සූසන් බාර්ට්න් එක් වරක මිස්ටර් කෲසෝට තම ශරීරය වින්දනය කරගැනීමට සලස්වයි. මෙය (සූසන්ට අනුව) කෲසෝ ගැන අනුකම්පාවෙන් (මමත්වයෙන් තොරව) ලබා දුන් අවසරයකි. එසේම, නැවේ කපිතාන් ද “ඔහුගේ කාමරයේදී වීදුරුවක් හිස් කරන්නට” සූසන්ට ආරාධනා කරත් ඇය ඊට එකග වන්නේ නැත. මෙම “පරමාදර්ශී” අවස්ථාවන් හා ඔඩිසි සංකලනය වන්නේ තම පුරුෂයා ට්‍රෝයි දේශයේ යුධ බිමේ සිට මාලිගය වෙත නැවත එනතුරු වසර විස්සක් තිස්සේ “පතිවත” රැකි පෙනෙලපී හරහාය. මෙම පෙනෙලපී ගේ විපරිතයක් ජොයිස්ගේ යුලිසිස් හි මොලී බ්ලූම් මත ප්‍රතිවර්තිතයි. මොලී සිය පෙම්වතුන් විසි අටදෙනෙකු සිහි කොට ස්ව‍යං-රමණයක යෙදෙන එම නවකතාවේ අවසන් කොටස මේ සදහා හොදම උදාහරණයයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s