අශ්වයා පැනගිය ඉස්තාලයේ දමා ගොස් තිබී හමුවුන දේ අතර…

හිමාලි ලියනගේ සිං‍හලට නැගූ හීලෑ අශ්වයෝ කෘති‍යේ පරිවර්තන කාර්යය හෘද රෝගියෙකුගේ ඊසීජී සටහන වැනිය. පරිවර්තිත වියමනෙහි ඒකාකාරී රිද්මයක් නොපැවතීම මීට හේතුවයි. x හාy අක්ෂ දෙකක ඒ අනුපිලිවෙලින් කතාවේ පථය හා වියමනෙහි රිද්මය සටහන් කරන්නට යෙදුනොත් ඉ‍හල-පහල යෑම් වලින් සංතෘප්ත වූ සටහනක් පිලියෙල කරගත හැක. මෙම අ-රිද්මීය සිතියමේ මූලික කාරකය ලෙස හදුනාගත හැක්කේ පරිවර්තන කාර්යය තුලින් මතුවී ඇති අසම්මේය අවස්ථාවන් හා හිමාලිගේ පරිවර්තන න්‍යායේ ඇති පරස්පරයන් ය. මෙම දුර්වලතා ගැන විස්තරයක‍ට යෑමට පෙර හීලෑ අශ්වයෝ හි පැසසිය යුතු කරුනු කීපයකට අවධානය යොමු කරන්නට සිතමි.

හීලෑ අශ්වයෝ කෘතියට පාදක වුන “ස්ටේබල් හෝර්සස්” රචනය කඨෝර බසකින් ලියවුනකැයි එක්තරා විවේචනයකදී සදහන් වී තිබෙනු මම දුටුවෙමි. මෙය මා හට එකග වීමට අපහසු ප්‍රස්තුතයක් වන අතර, “ස්ටේබල් හෝර්සස්” — විශේෂයෙන් එහි භාෂාව හැසිරවීම — අඩු “කඨෝර” බවක් ඇති නිර්මාණ භාෂාවක් ඇසුරු කරන බව මගේ විනිශ්චයයි. හිමාලිගේ පරිවර්තනයද මෙම භාෂා ප්‍රශ්ණයෙන් අසරණ වූ බවක් පෙනෙන්නට නැත. ඇතැම් ‍ඡේද හා කොටස් ඉතා සියුම් ලෙසත්, මුල් කෘතියේ “හඩ” ඉතා මැනවින් ප්‍රතිරාවය වන ලෙසත් ගොඩනැගී තිබේ. අහඹු උදාහරණයක් ලෙස 52 පිටුවෙහි එන පහත අවස්ථාව දැක්විය හැක. මෙය හෝටලයක ඉදන් තේකක් බොන කතානායකයා දකින රූපයකි:

“කාලගුණය බරයි ලාවට ඔක්තෝම්බරේ පොදයක් එලියේ. මේස හතරම පිරිලා. ඉස්සරහින් කවුන්ටරයක් තියෙනවා. ඒක පිටිපස්සේ ඇට කොල්ලෙක් පුරුද්දට වගේ කොත්තු කපනවා. “ඉස්කෝලෙන් හැලිච්ච එකෙක්” මම හිතින් සටහනක් දා ගන්නවා”.

Himali Liyanage

Himali Liyanage

ඉහත ඡේදයේ ජවය පවතින්නේ හිමාලි පදයෙන් පදය සැලකිල්ලට නොගෙන සමස්ත අවස්ථාවම ‍‍ඓන්ද්‍රීයව තම නිර්මාණ රාමුවට හසුකරගෙන ඇති නිසයි. මෙවන් අවස්ථාවන්වලදී මුල් කෘතියේ භාෂාව හෝ රිද්මය හිමාලිට අභියෝගයක් නොවන්නේ ද, තම නිර්මාණ කාර්යයේදී ඇය සාර්ථක වන්නේ ද, හුදු පද පෙරලීමකට පමණක් සීමා නොවී වඩා පුලුල් “සංස්කෘතිමය කියවීමක” ඇය යෙදෙන බැවිනි. ඉහත උදෘතයේ “ඇට කොල්ලා” යන්න මුල් කෘතියේ යෙදී ඇත්තේ “puny kiddo” ලෙසයි. හිමාලිගේ යෙදු‍‍ම ඉතා ප්‍රබල ලෙස එම යෙදුමෙහි ප්‍රතිභාව සිංහලයට නගන අතර “ඇට කොල්ලා” යන්න හුදු ආදේශකයක් නොවන, මුල් කෘතියේ අදහස වඩාත්ම හොදින් ගෙන දැක්වීමට පරිවර්තනයට කතෘකම් සපයන සිංහලෙන්ම වඩවා ගත්තකි. සාර්ථක පරිවර්තනය ද සංස්කෘතීන් දෙකක් අතර වන හුවමාරුවක් වන අතර කෘතීන් අතර කෙරෙන සම්ප්‍රේෂණයේදී සංස්කෘතිය ලියැවෙන “පද” වලින් ඔබ්බට යාම පරිවර්තක සතු පරිචය මතුකොට දැක්වෙන්නකි.

මුලින් සදහන් කල පරිදි හීලෑ අශ්වයෝ හි දුර්වලතාවයක් ද වන්නේ තම පරිවර්තනයට යටත් වන ඇතැම් තැන් නියෝජිත පද / වචන වලින් ඔබ්බට ගොස් හදුනාගැනීම‍ට හිමාලි ‍හට ඒකාකාරීව නොහැකිවීමයි. හෘද රෝගියෙකුගේ ඊසීජී වාර්තාව හිමාලි අතින් නිමවෙන තැන පහත වන් අවස්ථා අපම්‍ණ වේ:

“අපේ පන්තියේ මුස්ලිම් උන් තුන් දෙනෙක් හිටියා. දැන් නම් මට දුකයි. තරවටු, දැඩි දඩුවම්, අපහාස ඔක්කොම උන්ට දුන්නේ අනූවේ අන්තිමේදී පුරුදු පුහුණු කරන්න යන පනස් ගණන්වල “සිංහල බෞද්ධ- දෙදාස් පන්සීය – සම්පූර්ණ නැවතුම” මානසිකත්ව ලයිස්තුවට අඩංගු නොවන නිසා” (88 පිටුව).

අහඹු උදාහරණයක් ලෙස, ඉහත උපුටා ගැනීමේ “සිංහල බෞද්ධ- දෙදාස් පන්සීය – සම්පූර්ණ නැවතුම” ලෙස හිමාලි පද පෙරලා ඇත්තේ “Sinhala Buddhist-2500 years-Full stop mentalityලෙස මුල් කෘතිය විසින් අවස්ථානෝචිත ලෙස සකසා ගත් විශේෂණයකි. මෙය කතානායකගේ ගුරුවරයෙකුගේ මනෝභාවය විස්තර කිරීමට ගත් උත්සාහයකි. ඒ හා එක්කම ඇති පහත ඡේදය යථෝක්ත කාරණය තවත් පැහැදිලි කරයි:

“වැඩක් නැති පීරියඩ්වල කෑගහපු, දගලපු එවුන්ගේ නම් ලැයිස්තුව හදන එකත් පන්ති නායකයගෙම වැඩක් වෙලා තිබුණේ. එයා මේ ලැයිස්තු බාර දුන්නේ ශිෂ්‍ය නායකයන්ටයි. සංස්කෘතික සංකේතයටයි… කොටින්ම කිව්වොත් කෑගැසීම ක්‍රියාකාරකමේ මිනුම් දණ්‍ඩ පවා පුද්ගලයාගේ හැටිය‍ට වෙනස්. කොටින්ම කිව්වොත්, මම කියන්නේ තව තියෙන නිසා” (89 පිටුව).  

ඉහත ඡේදයට මුල්වූ එහි අනුරූපී කොටස පහත දැක්වෙන පරිදිය

Monitor had a duty of listing out the names of those who shouted and made trouble in class during free periods. He gave these lists to the prefects and to the Icon. Of course, shouting in classroom conditions is quite a subjective activity and its yardsticks were even more subjective, to say the least. To say the least, I say: cos there was more” (Stable Horses, 71).

මෙම ඡේද දෙක අතර සමමිතික බව සුමට නැත. “Cultural Iconලෙස පුන පුනා හදුන්වා ඇති ගුරුතුමා ව “සංස්කෘතික සංකේතය” ලෙස කර ඇති පද පෙරලි බෞතීස්මයේ විපරිත බවක් ඇත. උපුටා ගැනීම අවසන් වන වාක්‍යයේ අදහස සම්පූර්ණයෙන් විකෘති වී ඇත. ස‍‍මස්තය වෙනුවට කැබලි පමණක් ගෙන ආදේශක සැපයීම මෙම විපරිත තත්වයන්හි මූලයයි.

හිමාලිගේ පරිවර්තන කාර්ය‍යේ අසම්මේය අවස්ථාවන් හා පරිවර්තන න්‍යායේ ඇති පරස්පරයන් ලෙස මා මුලින් ඉගි කලේ ඉහතාකාරයේ භාවිතයකින් පැනනගින තත්වයන් ය. ඒ කෙසේ වුවද, හීලෑ අශ්වයෝ කෘතියට දැනෙනම හානිය කොට ඇත්තේ එහි “හීලෑ නොවූ” ප්‍රකාශකයාය. අප දැනගත් පරිදි මෙම කෘතිය මුද්‍රණයට විශාල මුල් මුදලක් පරිවර්තකගෙන් අය කර ඇත. මෙය පිම්පිමය ව්‍යායාමයක් වුවත් බොහෝ ප්‍රකාශක සමාගම් අද අනුගමනය කරන සාමාන්‍ය ලාංකේය සිරිතකි. නමුත් අය කරන මුදලට සරිලන ආකෘතියක් හෝ තාක්ෂණික සහයක් හීලෑ අශ්වයෝ කෘතියට ලැබී නැත. පරිච්ඡේද බෙදීම්, සෝදුපත් බැලීම්, ‍ඇතැම් ඡේද බෙදීම් ආදිය ඕනෑවට එපාවට කර ඇද්ද, නැත්නම් කෘතියට හානියක් කිරීමටම කර ඇත්දැයි සිතෙන තරමට ම අසංවරය, බාල ය. පරිච්ඡේද බෙදීම් වැනි මූලික අංගයන් කෘතියක ආකෘතිය සහ විකාශනය නීර්නයෙහි වැදගත්ම රචකයන් අතර වේ. ප්‍රකාශකගේ මුද්‍රාව වැදී ඇත්තේ නම් නොපිටට බව නොකියා බැරි ය.  

      

    

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s