“කුරුලු හදවත” හි රතු නැන්දා, රන්දිමා සහ දිනසිරි

ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත, රචකයාගේ අටවක පුත්තු හා සසදන විට වඩා ධාරාව දෙසට — තම කෘතිය පිලිගැනීමට පෙලගැසී සිටින අවශ්‍යයෙන්ම වැඩි පර්යේෂණශීලී බවක් නොදක්වන්නා විය හැකි ධාරාවක් දෙසට — යොමු වුණු බවක් තේරීයයි. අටවක පුත්තුහි ප්‍රගතිගාමී බවට රුකුල් සපයන ආඛ්‍යානය හා අමරකීර්ති කරන පර්යේෂණාත්මක ගණුදෙනුවේ අඩුවීමක් මිස වර්ධනයක් මෙම නව කෘතියෙහි දක්නට නැත. ඒ වුනත් අමරකීර්තීගේ නවකථාකරනයේ ප්‍රබල භූමිකාවක් බවට හදුනාගත හැකි (ලේ) නෑ හිතවතුන් ආශ්‍රයේ පවතින ලිංගිකමය ආරෝපිතයන් — වඩා අනම්‍ය කතිකාවකදී මෙය incest හෝ ව්‍යභිචාරී යැයි ද හැදින්වෙනු ඇත — තීව්‍ර ලෙස කුරුලු හදවත විසින් විමසනු ලබයි.

මෙහිදී යොවුන් දිනසිරි හා රතු නැන්දා අතර ගොඩනැගෙන සහසම්බන්දය පාරදෘෂ්‍ය ලෙසම ලිංගිකමය ධ්වනියන්ගෙන් යුක්තවේ. ලොකු මාමාගේ බිරිද ලෙස දීගල්ලේ සිට පැමිණෙන ඈ සිය පුරුෂයාට වඩා අවුරුදු එකොලහක් බාල කොට, අධ්‍යාපනයක් ලෙස ලද යමකින් ද පූර්ණ කොට, රූ සපුවකින් ද සංවේදී බවකින්ද යුක්තව කතානායක දිනසිරිට වඩා සමීප අක්ෂයක කේන්ද්‍රගත කෙරෙයි. දිනසිරිගේ ලමාවියෙහි සිට යොවුන් විය වෙත කෙරෙන සංක්‍රමණයේ එක් මුර එලියකි රතු නැන්දා. අවස්ථා කීපයකදීම රතු නැන්දා නොහොත් නිරංජලා දෙස යොවුන්විය හා අප නිතර ඈදන කාමවේශයකින් බලාසිටින දිනසිරි අපට මුණගැසේ. ඇගේ ශරීරය, අවයව ආදිය ගැන සියුම් ආශාවක්ද ඇගේ තුරුලට වී සිටින නංගී දැකීමෙන් තමා පිරිමියෙකු වීම පිලිබද අවස්ථාව විසින් උසිගන්වනු ලැබූ ශෝකයක් ද දිනසිරි තුල උපදී.

Amarakeerthi

Amarakeerthi

රතු නැන්දා නිරතුරුව දිනසිරි කෙරෙහි දක්වන සෙනෙහස හා ලබැදියාව හුදෙක් “නැන්දෙක් පුතෙකු හ‍ට පාන සෙනෙහසක්” ද, නැතිනම් ඊට වඩා සංකීර්ණ මනෝභාවයක තීරණාත්මක මොහොතක්ද යන පරීක්ෂණයට බදුන් වන අවස්ථාවක් ද වේ. ඇගේ විවාහය දෙදරා ගොස් ද තිබෙන අවස්ථාවක, මානසිකව දෙපලු ව ද ඇතැයි සිතිය හැකි රතු නැන්දා දිනසිරි ට ලදු කැලේ තැල් එකතුකිරීමට යාමට අඩගසයි. රතු නැන්දා විසින් කලින් සැලසුම් කරා යැයි අපට ඒත්තු ගැන්නෙන අවස්ථාවක ඇය කටුගාලක පැටලෙනු දැකිය හැක. ඇයට උදව් කරන්න‍ට යන දිනසිරි හට නැන්දාගේ කලව දක්වා නිරාවරනය කෙරෙන අතර වික්ෂිප්ත හැගීම් සංකීර්ණයක — එනම්, තවත් කටු ගාලක — පැටලෙන දිනසිරි ඔහු ගනීයැයි රතු නැන්දා සිතන බවට රචකයා අපට ඒත්තු ගන්නන ඒ ඉදිරි පියවර නොගෙන පසුබසී. එම පියවර නොගැනීම ගැන ක්ෂණිකව දිනසිරි පසුතැවුනත්, නැන්දාගෙන් තවත් විධානයක් බලාපොරොත්තුවෙන් සිටියත් ඔහුට එවන් අවස්ථාවක් නොලැබේ. තැල් කැඩීමටම ඈ විසින් කතාකරගත් ඇයට වඩා වයසින් අඩු යැයි විශේෂයෙන්ම සදහන් කෙරෙන අසල්වැසි “පුතෙකු” සමග රතු නැන්දා පැනයයි. දිනසිරි සමග රතු නැන්දා ලදු කැලේට යන ඉහත සිද්ධිය ‍‍ඉතා තීරණාත්මක කෙරෙන සාධකයද මෙම — එහිම දිගුවක් බදුවූ — නැන්දාගේ පැන යාමේ අවස්ථාවයි. රතු නැන්දා එතනින් එහාට සාධකයක් නොවන අතර, දිනසිරිගේ පරිණතවන ලිංගික අවදිවීමේ කාරකයක් ලෙසම කථාරාමුවෙන් එපිටට යයි.

Ravi and Anoushka Shanker

Ravi and Anoushka Shanker

දිනසිරිගේ ලිංගික පරිණතබවේ හා ලිංගිකමය වශයෙන් අවදිවීමේ තවත් එවැනිම කාරකයක් වන්නේ බඩහැල කුලයේ තමාට අකැප යැයි සමාජ-කුල-දේශපාලන ධූරාවලියේ වැටකඩොලු අතරින් පමණක්ම තමාගේ ෆැන්ටසිය බවට පත්වූ රන්දිමා ය. ලමාවියේ සිටම දිනසිරිගේ පරිකල්පනයට බලපෑම් කරන රන්දිමා කෙරෙන්ද දිනසිරි පිලිබදව යම් සංවේදනයක් කුඩා අවදියේ සිටම දිස්වේ. නවයොවුන් රන්දිමාට බසයේදී “කොලු විහිලුවක්” කරන සමකාලීනයන් පිරිසකට — විහිලුව පොඩි උනත් — දැඩි උද්වේගයකින් ප්‍රතිචාර දක්වා ගුටි කන්නට තරම් දිනසිරිගේ හැගීම් ඔහුව උසිගන්වයි. රන්දිමා දැකීමේ අටියෙන්ම චරිත සහතිකේ ගන්නයැයි කියා ඉස්කෝලේ යන දිනසිරි, සංගීත කාමරේ සිට වයලී‍නය වයන රන්දිමා දැක අමන්දානන්දයට පත්වෙයි. මෙසේ රන්දිමා දැක චරිත සහතිකේ ද ගෙන එන දිනසිරි අතරමග නැවතී එම සහතිකෙන් බෝට්ටුවක් සාදා ඔය දිගේ පා කර හරියි. රන්දිමා හට මෙසේ “දුරින් සිට පෙම් කරන” දිනසිරි යනු රන්දිමාගේම අනියම් සහෝදරයෙකු බව අ‍පට හෙලිවන්නේ දිනසිරි හෙවත් කුරුලු ගංගොඩ ගේ අවමගුල් උත්සවේදීය. දිනසිරි මියයන විටද මෙම “සත්‍යය” නොදනී. එක් අතකින් ඔහු එම කරුන එසේ නොදැන මියයාම වඩා උචිත බව මට හැගුනි. මන්ද යත්, රන්දිමා සහ දිනසිරි කථාවේ අවසනදී මෙසේ අනියමින් හෝ සහෝදර බැදීමකට යටත් කිරීම තරමක අනවශ්‍ය ආයාසයක් බව ම‍‍ට හැගුනු බැවිනි. ඒත්, එම බන්ධනය අවශ්‍ය යැයි තර්ක කරන්නෙකුට එම අනපේක්ෂිත කරුනෙන්ම අපගේ කුල-මල විභේදනයන්හි අනියමයභාවය විචාරය වෙනවා යැයි සදහන් කල හැකි වුවත් එය දුර්වල තර්කයකි.

සංස්කෘතික හික්මීම යන කුහකමය අර්ථනිරූපනයෙන් නො-මනුෂ්‍ය හා ශිෂ්ට නොවූ ලෙස අඩපන කොට ඇති ව්‍යභිචාරී නොහොත් incestමය දෝංකාරයන් ඉහත අවස්ථාවන්හීදී කේන්ද්‍රගත කෙරේ. මෙම ප්‍රතිනිරූපනයට ඓතිහාසික වූද සෞන්දර්යාත්මක වූද පසුතලයක් එක්කරන්නේ රන්දිමා හා පසුකලෙක විවාහවන සංගීත මාස්ටර්ය. රවි ශංකර් හා අනුෂ්කා ශංකර් පිය-දූ දෙපොල වයන කාමලෝලිත රාගයක් තම සී.ඩී ප්ලෙයරය හරහා දිනසිරි ඇතුලු පිරිස ඉදිරියේ වාදනය කරවන සංගීත මාස්‍ටර් එම වැයුමන්හි සුසංයෝගය අහඹු මානව බන්ධනයන්ගෙන් එහාට දකින (ශංකර් නියෝජනය කරන බව කියන) සංස්කෘතික හැකියාවක් ගැන ඉගි කරයි.

අටවක පුත්තු හි නාභිගතකිරීම් අතර නන්ද බාප්පාගේ හා අනෝමා අක්කාගේ යොවුන් ප්‍රේමය ද අපගේ මෙම කතිකාවේ පථයට ගත හැකිය. නවකථාවේ ¼ ක් වන මෙට-නැරටිවු කලාවේ සුහද අවස්ථාවක්ද වන “අඩහදයා” කොටස පාදක කරගන්නේ කතාවේ මූලික චරිතය වන දමයන්තගේ නෑදෑ ද වන නන්දගේ හා අනෝමාගේ පෙම් පුවතය. රතු නැන්දා වෙනත් අයකු හා පැන යන ලෙස‍ම අනෝමා අක්කා ද මියයයි. නමුත්, අදාල කතානායකයන්ගේ ලිංගික විඥානයේ පරිවර්තනයක් හෝ සංක්‍රාන්තියක් ඇති කිරීමෙහි ලා මේ දෙදෙනාම දායක වේ.

අටවක පුත්තු හි එක් අවස්ථාවක මහ රෑ ඇසුනු ශබ්දයක් හේතුවෙන් දමයන්ත අවදි කිරීමට යන නයනි පුංචි (නන්දගේ බිරිද / දමයන්තගේ නැන්දා) මොහොතක් පමාවී නැවත තම කාමරයට යන්නේ හවුස්කෝට් එක දා ගෙන එන්නය. මෙම ‍ජේදයේදී යොවුන් දමයන්ත අවදිකිරීමට යන නයනිගේ සිතේ තම පියයුරු ගැන කෙරෙන සවිඥානික සංඥාව කෙරෙහි විශේෂ බරක් තැබෙයි. මෙය මීට පෙර හෝ පසුව හෝ කතාවේ වෙන කිසිම තැනක හෝ සිදු නොවනාකාරයේ බර තැබීමකි. නින්දෙන් අවදි කෙරෙන දමයන්තට ද වික්ෂිප්ත කුල්මත්බවක් එක්වරම දැනෙයි. ශබ්ද නොනගන ලෙසට සංඥා කරන නයනී දමයන්තව ඉවතට කැදවා යන අවස්ථාවේදී “නොදත් (ලිංගික) ඉරණමක් වෙත” යන්නෙකුගේ ඇතිවන්නා යැයි සිතිය හැකි මනෝභාවයක් දමයන්තට මොහොතකට ආරෝපණය කෙරේ.

කුරුලු හදවත ආඛ්‍යානමය වශයෙන් වඩා අඩු පරියේෂණ යොමුවක් පෙන්වන බව මුලින් පැවසුවෙමි. මීට අමතරව අපගේ අවධානයට බදුන් ඉහත වියමන් දෙකෙහි තවද බොහෝ අන්තර්-වියමන් ඇත. දේශපාලනික අතින් ඉතා පලල් වූද බහු-ක්ෂේත්‍ර වූද අටවක පුත්තු හි ප්‍රවේශය කුරුලු හදවත හි දක්නට නැත. රචකයාගේ ප්‍රමුඛතාවයන්ගේ වෙනසක් ද විය හැකි මෙම සංක්‍රාන්තියට තවත් හේතුවක් විය හැක්කේ අටවක පුත්තු මෙන්ම කුරුලු හදවත ද එකම ප්‍රති-නිර්මාණ / දේශපාලන ව්‍යාපෘතියක දිගුවක් විය හැකි බැවිනි. මෙවැනි ඉගියක් අමරකීර්තී ද තම පෙරවදනේ දී අපහට ලබාදෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s